ලෝක තෙත් බිම් දිනය අද

පෙබ 02, 2020

    තෙත් බිම් සංරක්ෂණය සඳහා ක්‍රියාත්මක වැඩසටහන්, සාර්ථක කරගැනීමට අදාළ ආයතනවල මෙන්ම ජනතාවගේ සහය ද අත්‍යවශ්‍ය බව, මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. අදට යෙදෙන ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙන් නිකුත් කෙරුණු නිවේදනයේ, මේ බව සඳහන්.

    මෙවර තෙත් බිම් දිනයේ තේමාව ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත් බිම් යන්නයි. 1971 ඉරානයේ රැම්සාහිදී තෙත් බිම් සම්මුතියට එළඹි අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මුල් වරට එය සමරනු ලැබුවේ 1977 වසරේ පෙබරවාරි 2 වැනි දිනයි. අද වන විට රටවල් 171ක් රැම්සා තෙත් බිම් සම්මුතියට අත්සන් තබා තිබේ. ගංගා,වැව්,කුඹුරු,ජල මාර්ග,ජලාශ,කලපු,ගං මෝය,කඩොලාන පරිසර පද්ධති,වගුරු බිම් ආදිය තෙත් බිම් ලෙස සැලකිය හැකියි. ඒවායින් මිහිමත සියලු ජීවීන්ට ඉටු කෙරෙන මෙහෙය අති මහත්. එහෙත්, අනවසරයෙන් ඉඩම් ගොඩ කිරීම්, ඉදිකිරීම් ද්‍රව්‍ය, සුන්බුන්,ඝන අපද්‍රව්‍ය,ප්ලාස්ටික් හා පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීම මෙන්ම, ගිනි තැබීම් හේතුවෙන් තෙත් බිම්වල පැවැත්මට තර්ජන එල්ල වෙයි. තෙත් බිම් අධි පරිභෝජනය ද ඊටා හානිකර බවට හඳුනාගෙන තිබේ.

    බුන්දල,කුමන,විල්පත්තු ආදී ජාතික වනෝද්‍යාන ඇතුළු රැම්සා සංරක්ෂණ තෙත් බ්ම් රැසක් ශ්‍රී ලංකාවේ දැකිය හැකියි. තවත් තෙත් බිම් පද්ධති රැසක් ප්‍රකාශයට පත්කර ඇත්තේ, ජාතික පාරිසරික පනත යටතේ. නිසි අධ්‍යයනයකින් අනතුරුව, තවත් තෙත් බිම් ගණනාවක් ආරක්ෂිත ප්‍රදේශ බවට පත්කරන බවයි, මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ. ලෝක තෙත් බිම් දින ජාතික උත්සවය, හෙට පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්විය. ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද මේ පිළිබඳ අවධානය යොමුකර තිබේ. මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදුවන අති විශාල හානි වළක්වා තිරසර පරිසර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමයි, එහි පෙන්වා දී ඇත්තේ. තෙත් බිම් හා අවේණික ශාක ඇතුළත් මුද්දර 10ක් නිකුත් කිරීමහ තෙත් බිම් ශ්‍රී ලංකා සඟරාව එළිදැක්වීම ඇතුළු වැඩසටහන් රැසක් ජාතික උත්සවයේ දී පැවැත්වීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 02 පෙබරවාරි 2020 11:12

    Latest News