මාලදිවයින හා තරගයක් ලබාදෙන්න කල්පිටිය ගොඩනැංවිය යුතුයි...ඇමති අරුන්දික

ජන 19, 2020

    මාලදිවයින හා තරගයක් ලබා දීමට නම්, සුන්දර දූපත්වලින් අනූන කල්පිටියේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

    ශ්‍රී ලංකාව, මාලදිවයිනට නොදෙවෙනි සංචාරක පුරවරයක් කිරීමට බලාපොරොත්තු වන බවයි, ඔහු ප්‍රකාශ කරන්නේ. සංචාරක හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළේ (18) කල්පිටිය සංචාරක පුරවරයේ හෝටල් හිමියන් සහ අයෝජකයින් හමුවෙමින්.

     මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු....

    "කල්පිටියේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සංචාරක ප්‍රවර්ධන අමාත්‍යාංශය කිසිම දෙයක් සිදු කරලා නැහැ. දැනට අන්තර්ජාලයේ තිබෙන්නේ කල්පිටියේ සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් විසින් නිර්මාණය කරණ ලද වීඩියෝපටි පමණයි.

    කල්පිටිය ඓතිහාසික වශයෙන් වටිනාකමක් ඇති පුරවරයක්. මිනිස් ජනපදවල ආරම්හය හෙවත් තම්බපණ්නී නිජබිම පිහිටලා තිබෙන්නේ මේ ආසන්නයේ. දියඹේ දැකිය හැකි දැවැන්තම මත්සයා තල්මසාත්, ගොඩබිම දැකිය හැකි දැවැන්තයා අලියාත් සංචාරකයින්ට එකම චාරිකාවකින් දැකිය හැක්කේ මෙහිදී පමණයි.

    ඊට අමතරව ඩොල්පින් මසුන්, කොරළපර, දිය මත සරුංගල් ක්‍රීඩාව ඇතුලු විවිධ ජල ක්‍රීඩා විල් පත්තුව ගඟේ වාඩිය ප්‍රදේශයන්හී ගෝණා, මුවා සහ දිවියා දැකිය හැකියි. සංචාරක කර්මාන්තය ස්ථාපනය වී තිබෙන සෑම ප්‍රදේශීය ලේකම් කාර්යාලයකටම සංචාරක සංවර්ධන නිලධාරියෙකු පත් කරණ ලෙස මම ජනාධිපතිතුමාට යෝජනා කළා " යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

    මෙහිදී,කල්පිටියේ හෝටල් හිමියන් සදහන් කලේ සංචාරක නිකේතනයන්ට ප්‍රවේශ වීමේ මාර්ගයන් අබලන්ව පැවැතීම, පෙර දැනුම් දීමකින් තොරව සිදුවන, නිතර සිදුවන විදුලි කප්පාදුව, කැළි කසල බැහැර කිරීමේ අක්‍රමවත් බව, සංචාරක කර්මාන්තයට බාධාවක් බව පෙන්වා දුන්නේය.

    දිය මත ලිස්සා යාමේ ක්‍රීඩා පාසල් සංගමයේ ලේකම් දිල් සිරි වැළිකල මහතා පෙන්වා දුන්නේ, බලපත් නොමැතිව විදේශීය සරුංගල් පුහුණුකරුවන් කල්පිටියට පැමිණ, විදේශ ක්‍රීඩකයින් සදහා පුහුණු පාඨමාලා පවත්වමින් මුදල් උපයන බවත් සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මැදිහත්ව මේවා නැවැත්වීමට පියවර ගන්නා ලෙසයි.

    කල්පිටියේ සංචාරක නිකේත්න 117ක් තිබෙන අතර ඉන් 20 ක් පමණක් ලියාපදිංචි බවත්, ජල ක්‍රිඩා පාසල් 13ක් තිබුන ද ඉන් 9 ක් පමණක් ලියාපදිංචි බවත් මෙහිදී අනාවරණය විය.

    ලියා පදිංචි නොමැති සියලුම ක්‍රීඩා පාසැල් සහ සංචාරක නිකේතන වහාම ලියාපදිංචියට පියවර ගන්නා ලෙසට අමාත්‍යවරයා මෙහිදී අදාළ නිළධාරීන්ට දැනුම් දුන්නේය.

    Last modified on ඉරිදා, 19 ජනවාරි 2020 08:12

    Latest News