මරුට අතවනන හල්පේ අබලන් පාලම

ජන 19, 2020

    බණ්ඩාරවෙල-බදුල්ල මාර්ගයේ හල්පේ හක්සියෙන් හැරී මධුරගම ප්‍රදේශයට හා ආරුක්කු නවය පාලම දිසාවට ගමන් කිරීමට ඇති මධුර ගම පාලම දැඩි ලෙස අබලන් වී තිබේ.

    මෙයට වසර 4කට පමණ පෙර පාලම මැදින් කොටසක් කඩා වැටී විශාල සිදුරක් සැදී ඇති අතර පාලමේ කොන්ක්‍රීට් හා යකඩ කඩා වැටී තිබෙන අතර ගමනා ගමනය එක් මංතීරුවකට සීමා වී තිබේ. මෙම මාර්ගය හල්පේ සිට මධුරගමටත්,සංචාරක ආකර්ශනය දිනාගත් දෙමෝදර ප්‍රදේශයටත්,ආරුක්කු නමයේ පාලම දෙසටත් තවත් ගම්මාන රාශියකටත් ගමන් පහසුකම් සළසා තිබේ. දිනකට විශාල විදේශීය සංචාරකයින් පිරිසක් මෙම මාර්ගය හා පාලම භාවිතා කරන අතර නිවාඩු දිනවල දී දේශීය සංචාරකයින් ද විශාල ප්‍රමාණයක් මෙම පාලම මතින් ගමන් කරයි.

    තවද කුඩා වාහන මෙන්ම බර වාහන ද පාලම මතින් ගමන් කරන අතර දිරාගිය හා අබලන්වූ පාලම කඩා වැටේ යැයි අවදානමක පවතී. සැදී ඇති කුහරය තුලට වැටී වාහන හා යතුරුපැදි ගණනාවක්ම අනතුරට ලක්ව තිබේ. පාලම දෙපස මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කෙරුණ ද මෙම අබලන් පාලම වෙනුවෙන් මුදල් වෙන් වී නැති අතර සංචාරක කර්මාන්තය දියුණු වන මෙම වකවානුවේ දී මෙම පාලම හැකි ඉක්මනින් අලුත් වැඩියා කර දෙන ලෙස ජනතාව ඉල්ලා සිටියි.

    Last modified on ඉරිදා, 19 ජනවාරි 2020 07:53

    Latest News