ලෝකවාසී හින්දු ජනයාගේ තෛපොංගල් දිනය අදයි

ජන 15, 2020

    ලොව පුරා දමිළ බැතිමත්හු අද තෛපොංගල් දිනය සමරති. මිනිසාගේ ජීවිතයට පදනම සපයන කෘෂිකාර්මික කටයුතු සඳහා, සූර්යයා විසින් ඉටුකරනු ලබන මෙහෙය සිහිපත් කරමින්, ඊට කෘතගුණ සැලකීම අරමුණු කරමින් මෙය සැමරේ.

    ගොවීහු තම පළමු කෘෂි අස්වැන්න සූර්ය දෙවිඳුන් වෙනුවෙන් පූජා කිරීම තෛපොංගල් දිනයේදී සිදුකෙ‍රෙන විශේෂ චාරිත්‍රයකි. දිවයින පුරා පිහිටි කෝවිල් තුළ අද දිනයේ දී ඝණ දෙවිඳුන් වෙනුවෙන් විශේෂ පුද පූජාවන් පවත්වා ඉන් අනතුරුව, සූර්ය දෙවිඳුන් උදෙසා පූජාවන් පැවැත්වීම චාරිත්‍රානුකූලව සිදුකරනු ලබයි.

    තෛපොංගල් දිනයේ දී, දෙමළ ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සිදුකෙරෙන කුඹුරුවල කිරිබත් සාදා එය පළමු කොට සූර්යයා වෙනුවෙන් පූජා කිරීම සිදුකෙරේ. තම අස්වැන්න සාර්ථක කරගැනීම සඳහා උපකාර කළ සූර්යයා වෙනුවෙන්, කෘතගුණ සැලකීම අරභයා මෙසේ පළමු අස්වැන්න සූර්ය දෙවිඳුන් සඳහා පූජා කිරීම විශේෂත්වයකි.

    තෛපොංගල් දිනය උදාවීමත් සමග තම ජීවිතයේ නව පරිච්ඡේදයක් උදාවන බව දෙමළ ජනතාවගේ විශ්වාසයයි. ඉන් තම ජීවිතයට ලැබෙන ආලෝකයත් සමග නව වැඩකටයුතු ආරම්භ කිරීම ද සිදු වේ. දිනය උදාවීමත් සමග අලුයම අවදි වන ඔවුහු, සිය ගේදුර පවිත්‍ර කොට ඒ සඳහා විවිධ සැරසිලි නිර්මාණ කරන අතර නිවසේ ඉදිරිපිට කිරි උතුරුවා, කිරිබත් සාදා එය ද සූර්ය දෙවිඳුන් වෙනුවෙන් පූජා කිරීම සිදුකරති.

    නව ඇඳුම් ආයිත්තම්වලින් සැරසී කෝවිල් වෙත ගොස් පුද පූජාවන් සඳහා සහභාගී වීමෙන් අනතුරුව, සිය නෑ හිතමිතුරන් වෙනුවෙන් නිවෙස්හි භෝජන සංග්‍රහ පැවැත්වීම ඔවුන්ගේ සුවිශේෂී චාරිත්‍ර විධි අතරට අයත් වේ. කුඩා දරුවන්ගේ ගිනිකෙළි සංදර්ශනය ඇතුළු විවිධ නව අවුරුදු ක්‍රියාකාරකම් රැසක් තෛපොංගල් දිනය නිමිති කොටගෙන සිදුකරනු දක්නට ලැබේ.

    Last modified on බදාදා, 15 ජනවාරි 2020 09:18

    Latest News