පසුගිය ආණ්ඩුවේ සිදුවූ මිල්කෝ කිරි පැකට් වංචාවක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්

ජන 12, 2020

    පසුගිය ආණ්ඩු සමයේ මිල්කෝ සමාගමේ කිරි පැකට් ඇසුරුම් කිරීම සදහා පෞද්ගලික අංශයට ලබා දී තිබු පැකට් එක්ලක්ෂ තුන්දහසක් ප්‍රමාණයක් අඹේවෙල මිල්කෝ ආයතනයේ ලොරි 11ක ගබඩා කර ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

    එක් ලොරියක ඇසුරුම් කළ කිරි පිටි පැකට් වල ආයුකාලය අවසන්ව ඇති අතර ඉතිරි කිරිපැකට් වල ආයුකාලය පෙබරවාරි අවසන් වීමට නියමිත බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙළි කළේය. 

    සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විශේෂ මාධ්‍ය හමුව දඹුල්ලේ ඊයේ (11) පැවැත්විණ.

    කිරි ගොවීන් සුරැකීමේ ජාතික සංවිධානය ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සහ කිරි ගොවි සංවිධානවල කීප දෙනෙකු විශේෂ මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

    මිල්කෝ සමාගමේ සිදුව ඇති විශාල මුල්‍ය අක්‍රමිකතාවයන් සහ මේ වන විට විශාල කිරි ප්‍රමාණයක් විනාශ වීමේ තත්ත්වයට පත් කිරීමේ සිද්ධිය අනාවරණය කරන බව නාමල් කරුණාරත්න මහතා සදහන් කළේය. පසුගිය පාලන සමයේ සියයට 12ක පෞද්ගලික කොමිස් මුදලක් ලබාගැනීම සඳහා මිල්කෝ සමාගමට අයත් කිරි පෞද්ගලික ආයතනයකට ඇසුරුම් කර ගැනීම සඳහා ලබාදී තිබෙන බවඔහු කියා සිටියේය.

    ඒය පසුගිය අගෝස්තු මාස සිදුවු බව නාමල් කරුණාරත්න පෙන්වා දුනී. පෞද්ගලික ආයතනය ඇසුරුම් කිරීම ප්‍රමාද කොට පසුගිය දිනවල කිරිලොරි 11ක ඇසුරුම් කළ කිරි පැකට් එක්ලක්ෂ තුන්දහසක් පවතින බවත් ඒවා අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක පවතින බවත් ඔහු අවධාරනය කළේය. මෙම කිරිවලින් විවිධ ආහාර නිෂ්පාදනය කිරීමට හැකියාව තිබියදී කොමිස් ලබාගැනීමට මෙම කිරි පෞද්ගලික ආයතනයකට ලබා දී ඇති බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බව හෙතෙම සඳහන් කළේය.

    ගොවීන්ගෙන් ලබාගත් කිරි තොග විනාශ වීමේ තර්ජනය පිළිබඳව රජයේ කඩිනම් අවධානය යොමු කරන්නැයි ද නාමල් කරුණාරත්න මහතා ඉල්ලා සිටි.

    Latest News