ඇමති හැරිසන්ගෙන් දුටුවා UNP ය ආණ්ඩුව තිබියදීත් නොමැති වීමේදීත් දුර්වල බව - නාමල්

දෙසැ 07, 2019

    ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී විශාල ජයග්‍රහණයක් ලැබීමට එකම හේතුව එක්සත් ජාතික පක්ෂයේ දුර්වල තාවය බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

    ඡන්දය මාස දෙකකට පෙර හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා සමග පැවති සාකච්ඡාවක්දි ගොවීන්ට වන්දි දීමට පොරොන්දු වූත් ඡන්දය අවසන් වනතුරු වන්දි ලබා නොදීම එම දුර්වලතාවය පැහැදිලිව පෙන්නුම් කරන්නක් බව ඔහු පෙන්වා දුන්නේය.

    එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව තිබියදීත් දුර්වල බවත් ආණ්ඩු බලය නොමැති වීමේ දී දුර්වල බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ කණ්ඩායම් කිහිපයකට බෙදී තිබෙන බවත් රනිල් කණ්ඩායම, සජිත් කණ්ඩායම, කරු කණ්ඩායම සහ නවීන් දිසානායක කණ්ඩායම් ආදී වශයෙන් ක්‍රියාත්මක වන බව නමල් කරුණාරත්න සඳහන් කළේය. මෙම කණ්ඩායමට විපක්ෂයේ කාර්යභාරය සිදුකිරීමට නොහැකි බවත් විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීමට හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ සතු කණ්ඩායමට බව සඳහන් කළේය. සජිත් මහතාට වීපක්ෂ නායකකම ලබා දීම ළමයෙකුට ලබා දුන්නා හා සමාන බවත් රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම ද එවැනිම තත්ත්වයක් බවද සඳහන් කළේය.

    පසුගිය ඡන්දයේ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ වේදිකාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ මහින්ද රාජපක්ෂ මහතාගේ නම පවා කීමට නොහැකි තරමට දුර්වලවී සිටි බවද හෙතෙම සඳහන් කළේය.

    Latest News