රජයේ වී මෙට්‍රික්ටොන් හතලිස්දාහක් දේශපාලන හිතවතුන්ට බෙදා දීමේ සැලසුමක් - නාමල්

දෙසැ 07, 2019

    ගොවීන් ගෙන් රජය මිලදී ගෙන ගබඩා කර ඇති වී මෙට්‍රික්ටොන් හතලිස්දාහක් මිලදීගත් මුදලටම දේශපාලන හිතවතුන් අතරේ බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හෙළි කරති.

    එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දඹුල්ල ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.

    මෙම මාධ්‍ය හමුව සඳහා සම්බා සහල්, නාඩු සහල්, නාඩු වී රැගෙන විත් තිබිම විශේෂත්වයකි.

    රටපුරා සහල් මාෆියාවක් ක්‍රියාත්මක වන බව නාමල් කරුණාරත්න මහතා මෙහිදී කියා සිටියේය. මීට කන්න දෙක තුනකට ඉහතදී ඉතා අඩු මුදලට මිලදී ගත් වී මේ දිනවල වැඩි මිලකට සහල් බවට පත්කොට අලෙවි කරන බවද චෝදනා කළේය. හල් නිෂ්පාදනය කිරීමේ මිල සූත්‍රය අනුව රුපියල් 80ට අඩුවෙන් සහල් කිලෝවක් වෙළඳපොලේ සිල්ලරට අලෙවි කළ හැකි බවද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය. සුපිරි සම්බා නමින් ලේබලයක් අලවා සම්බා වි වලින්ම නිෂ්පාදනය කරන සහල් අධික මිල ගණන් යටතේ මාෆියාවක් ලෙස අලෙවි කරන බවද හෙතෙම චෝදනා කළේය.

    මේ වන විට පෞද්ගලික මෝල් හිමියන් කීපදෙනෙකු සම්පූර්ණයෙන්ම රටේම සහල් සහ වී පාලනය අතට ගෙන අති විශාල මුදලක් හම්බ කරන බව ද ඔහු චෝදනා කළේය. එමෙන්ම පාරිභෝගික අධිකාරිය මගින් මේ වනවිට උපරිම සහල් මිල ගැසට් කර තිබියදීය එම ගැසට් මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන බවයි ඔහු පවසන්නේ.

    රටේ වී නිෂ්පාදනය හාල් අවශ්‍යතාවය ටත් වඩා වැඩියෙන් නිෂ්පාදනය කරන බවත් එවැනි වකවානුවක සහල් මිල ඉහළ යෑමට නොහැකි බව නාමල් කරුණාරත්න පෙන්වා දුනි.

     

     

    Last modified on සෙනසුරාදා, 07 දෙසැම්බර් 2019 10:40

    Latest News