සංචාරයට සුදුසු හොඳම ස්ථාන 20 අතරට ශ්‍රී ලංකාවත්

ජන 07, 2020

    ලොව ප්‍රකට CNN පුවත් සේවය මේ වසරේ සංචාරයට සුදුසු හොඳම ස්ථාන 20 අතරට ශ්‍රී ලංකාව ද තෝරා ගෙන තිබේ.

    වාර්ෂිකව මෙලෙස සංචාරයට හොඳම ස්ථාන නම් කිරීම CNN ට්‍රැවල් වෙබ් අඩවියේ කතෘවරුන් විසින් සිදු කරනු ලබයි. CNN ට්‍රැවල් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවක් එල්ල වුවද, මෙරට ඉතිහාසය, ඉපැරණි මාළිගා, පෞරාණික නටබුන්, විහාරස්ථාන, වනජීවීන් මෙන්ම රට තුළ පවත්නා සොබා සෞන්දර්ය හේතුවෙන් ශ්‍රී ලංකාව නැරඹිය යුතුම ස්ථාන අතර තවමත් නොනැසී පවතින බවයි. දකුණු ආසියානු කලාපයේ කුඩා දූපතක් වන ශ්‍රී ලංකාව වසර දෙදහසකට වැඩි ඉතිහාසයකින් සමන්විත, සංකීර්ණ හා ශක්තිමත් ප්‍රෞඪ ශිෂ්ඨාචාරයක් හිමි රටක්. එම කරුණු ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු හොඳම ස්ථාන අතරට එක් කිරීමට ප්‍රධානතම සාධක බව වාර්තාවේ සඳහන්. දිවයින ආශ්‍රිත මුහුදු වෙරළ, පොළොන්නරුව, සීගිරිය, දළඳා මාළිගාව හා ඇසළ පෙරහැර, මින්නේරිය ඇතුළු ජාතික උද්‍යාන හා වන අලි සම්පත මගින් ශ්‍රී ලංකාවට ලැබී ඇති ඉහළ වටිනාකම ලොව සංචාරයට සුදුසු හොඳම රටවල් 20 අතරට එක්වීමට ඉහළ දායකත්වයක් ලබාදී තිබේ.

    Seegeeriya px 900 07 01 20

    ඊට අමතරව චිලී, ඩෙන්මාර්කයේ කෝපන් හේගන්, ජෝර්දානයේ මල මුහුද, ඩොමිනිකා රාජ්‍ය, ජපානයේ කියුෂූ දූපත, රුසියාවේ ශාන්ත පීටර්ස් බර්ග්, අමෙරිකාවේ වොෂිංටන් ඇතුළු කැපී පෙනෙන විශේෂත්වයකින් යුත් රටවල් රැසක් ද එම ලැයිස්තුවට ඇතුළත්. මේ අතර මාලදිවයිනේ මටාටෝ සංචාරක සම්මාන උළෙලේදී 2019 ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්මානයට පාත්‍රවී තිබේ. ඒ, ලොව පිළිගත් ගුවන් සමාගම් බොහොමයකට වඩා සංචාරක ජනතාවගේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිමිකර ගනිමින්. ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ හරහා රටවල් 58ක නගර 130ක ජාලයක් හා සම්බන්ධව කටයුතු කරන ගුවන් සේවයක්. රටවල් 160ක ගමනාන්ත දහසක් දක්වා පියාසර කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට හිමිවේ.

    Latest News