බැදුම්කර සිද්ධිය සම්බන්ධව වරෙන්තු පිළිබඳ තීන්දුව ජුලි මස 7 වන දා

ජූනි 29, 2020

    හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු පිරිසක් අත්අඩංගුට ගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය ජුලි මස 07 ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.

    ඒ, 2016 වසරේ සිදුවූ බැදුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 52 කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙනි.

    රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

    එමෙන්ම මෙම පෙත්සම් විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේද? නැත් ද? යන නියෝගය ද එදින ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල සදහන් කළා.

    හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් , එම සමාගමේ අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් දෙදෙනෙකු වන ඉන්දික සමන් කුමාර සහ එස්. පදුමනාභන් යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

    රවී කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමේ දී කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කර ඇතැයි චෝදනා කළා.

    කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ බිරිඳ, ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කරන නිලධාරිනියක බවත් ආන්දෝලනාත්මකව මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුවේ සේවය කරන නිලධාරින් සම්බන්ධයෙන් ද විමර්ශනයක් පැවැත්වෙද්දී එම මහේස්ත්‍රාත්වරයා විසින් සිය සේවාදායකයින් අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට ගත් පියවර යුක්ති සහගත නොවන පක්ෂග්‍රාහී ක්‍රියාවක් බවත් ඔවුන් පෙන්වා දුන්නා.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.

    මෙම පෙත්සම් පවත්වාගෙන යාමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවත් කොටුව මහේස්ත්රාත්වරයා විසින් අදාළ වරෙන්තු නිකුත් කිරීම නීත්‍යානුකූල අයුරින් සිදු කර ඇති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

    ඔහු සදහන් කළේ වරෙන්තු නිකුත් කිරීමේ දී මහේස්ත්‍රාත්වරයා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කර ඇතැයි පෙත්සම්කාර පාර්ශ්වය එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

    මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නවාස් මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකර ඇති ආකාරය අධ්‍යයනය කිරීම සඳහා තම අධිකරණයට බලයක් තිබෙන බවයි.

    Latest News