පොහොර බෙදාගැනීමට නොහැකිව දඹුල්ලේ ගොවීන් උණුසුම් වෙයි

ජන 07, 2020

    දඹුල්ල ගොවීන් හා රජයේ පොහොර ගබඩා සේවකයින් අතර අද (07) පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවී තිබේ. ඒ යූරියා පොහොර මිටි දහ දහසක් පමණ අවශ්‍ය දඹුල්ල රජයේ පොහොර ගබඩාවට යූරියා පොහොර මිටි දෙසීයක් ලැබීම හේතුවෙන් එය බෙදාගැනීමට අලෙවි කිරීමට නොහැකි වීමේ ගැටළුවක් හේතුවෙන්.

    පොහොර මිටි දෙසීය බෙදා ගැනීමේ ක්‍රමවේදයක් නොමැතිවීම නිසා ගබඩාවේ දඹුල්ල කාර්යාලයේ පාලකවරයා එක හැඳුනුම්පතට ගොවියකුට පොහොර මිටි දෙක බැගින් නිකුත් කිරීමට පටන් ගෙන ඇතැයි ගොවීන් කියයි.

    විනාඩි කිහිපයක් ගතවෙද්දී පොහොර මිටි 200 අවසන් වීම සහ හැඳුනුම්පත් නොමැති ගොවීන් හා හැඳුනුම්පත් රැගෙන නොපැමිණි ගොවීන් නැවත හැදුනුම්පත රැගෙන එද්දී පොහොර අවසන්වීම නිසා අසාධාරණ බවද ගොවින් පවසයි.

    දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික වෙළඳසැල්වල සහ රජයේ ගබඩාවේද යූරියා පොහොර දින ගණනාවක සිට හිඟයක්ව පැවතීම නිසා ගොවිතැන් කටයුතුවලට විශාල බාධා එල්ල වී ඇතැයි ගොවීන් කියයි.

    සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් අද පෙරවරුවේ දඹුල්ලේ පිහිටි රජයේ පොහොර ගබඩාව සහ පෞද්ගලික වෙළෙඳ ස්ථානවල පොහොර ඇත්දැයි සොයා බැලීම සඳහා පැමිණ සිටියේය. එහිදී ගොවීන් සහ ව්‍යාපාරිකයින් කියා සිටියේ පොහොර ලැබීම ප්‍රමාදවීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවයි.

    දඹුල්ල ලක් පොහොර ගබඩාව කළමනාකරු එස්.පි.යු.පතිරණ මහතා ප්‍රකාශ කළේ තමන්ට පොහොර මිටි දෙසීයක් රජයෙන් ලැබුණු බවත් ඒවා ගොවීන්ට බෙදා දීමේ අවශ්‍යතාවය නිසා හැදුනුම්පත ලබා ගෙන එක් ගොවියෙකුට මිටි දෙක බැගින් ලබාදීමට අවශ්‍ය පියවර ගත් බවයි.

    සහනාධාර පොහොර අවශ්‍ය තරම් ගබඩාවේ පවතින බවත් කිලෝ 50 ක මිටියක් රුපියල් 1000 කට අලෙවි කරන පොහොර මෙසේ හිගව පවතින බවද හෙතෙම කියා සිටියේය. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියාසිටියේ පොහොර හිගය බරපතල ලෙස රටට දැනෙමින් පවතින නිසා රජය කඩිනමින් මේ පිළිබඳව අවධානය යොමුකළ යුතු බවයි.

    Last modified on අඟහරුවාදා, 07 ජනවාරි 2020 12:43

    Latest News