මහබැංකුව හොරකෑවේ UNP: හොරකම විපක්ෂයෙන් අපේ කර පිටට

ජන 07, 2020

    පසුගිය ආණ්ඩු සමයේ සිදුව මහ බැංකුව බැඳුම්කර වංචාව වාර්තාව වත්මන් ආණ්ඩුව කළ බවට සාවද්‍යා ප්‍ර‍චාරයක් විපක්ෂය විසින් සමාජ ගතකරමින් සිටින බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි.

    ශ්‍රී ලංකා වරාය අධිකාරි පරිශ්‍රයෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත වාණිජ කර්මාන්ත හා සේවා ප්‍ර‍ගතිශීලී සේවක සංගමයේ වරාය නව කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    යහපාලන ආණ්ඩුව විසින් රජයේ නිලධාරීන්ව කිසිදු සොයාබැලීමකින් තොරව සිරගත කිරීමට ක්‍රියා කළ බවත් තමාවද එසේ අත්අඩංගුවට ගත් බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසිය. ඒ සියලු අභියෝගයන්ට නොසැඟවී ශක්තිමත්ව මුහුණ දුන් බවත් ඔහු අවධාරණය කළේය.

    “මෙම වෘත්තීය සමිති ගොඩනැගිල්ල වෘත්තීය සමිතිවල දියුණවට වගේම වරායේ දියුණුවට යොමුකරන ස්ථානයක් බවට පත්කරන්න ලැබේබා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබලා දුන්න දායකත්වය එක්ක අවුරුදු 05 ක් යන්නත් කලින් මේ ජරාජීර්ණ ආණ්ඩුව පන්නන්න පුළුවන් වුණා. ඒ කර්තව්‍යයේ දී හයිය දුන්නේ තමුන්නාන්සේලා, ඩී. වී. චානක, ප්‍ර‍සන්න රණවීර ආදී මන්ත්‍රීවරු. ඔවුන් එදා වරාය රැකගන්න ගිහින් හිරගෙදරට ගියපු අයයි. මම දන්නවා විභාගය ලියන ශිෂ්‍යයෙක් විභාගයට සති දෙකක් තියෙද්දී හිරේට දැම්මා. රටේ සම්පත් විකුණනවාට විරුද්ධ වුණ අය වගේම තමන්ගේ පැවැත්මට තර්ජනයක් කියලා හිතුණ අයව කිසිම පැකීලීමකින් තොරව රාජ්‍ය බලය යොදවලා හිරයට දාපු එක ගැන අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ ආණ්ඩුවේ තිබුණ කුරිරු බව රටේ ආර්ථිකය හා රටේ සම්පත් විකුණද්දී ඒකට විරුද්ධව කතාකරපු මිනිස්සු හිරගෙදර දාන්න තරම් ඔවුන් කිසිම පැකිලීමකින් තොරව ඒවා කෙරුවා කියන එක අපි මතක් කරන්න කැමතියි.

    අද සමහර අය අහනවා ඇයි මෙහෙම වෙන්නේ. ඇයි මෙහෙම අයට ඇප දෙන්නේ කියලා සමාජයේ කතා බහක් තියෙනවා. මමත් දැක්කා. අද ෆේස්බුක් එකේ රන්ජන් රාමනායක ගැන. ඒකේ නඩු නිමිත්තක් තියෙන නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. නඩුවෙන් තීන්දු තීරණ වෙයි. මොකද්ද සිද්ධ විය යුත්තේ සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියන එක ගැන. මට නඩු 11 ක් දැම්මා. ලංකාවේ වැඩිම නඩු ටික දැම්මේ මට. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් හිටගත්තා කියලා. දවස 73 ක් කිසිම හේතුවක් නැතිව මාව හිරේදැම්මා. මට එදා ෆේස්බුක් එක පාවිච්චි කරන්න දුන්නේ නැහැ. මට සෙල්ෆි ගහන්න දුන්නෙත් නැහැ පොලිස් නිලධාරීන් එක්ක. FCID යට ගියාම පොලිසියේ නිලධාරියා මුලින්ම ඇහුවේ ඇයි එක්සත් ජාතික පක්ෂය අතහැරියේ කියලා. එහෙම නිලධාරීන් තමයි ඉස්සර හිටියේ. මට තර්ජනය කළා. මම සිනහමුසුව ඒවට මුහුණ දුන්නා. මම මගේ දරුවට කිව්වා ගෙදර කාටවත් කියන්න එපා මාව අනිවාර්යෙන්ම දානවා. ඒක තමයි මේගොල්ලන්ගේ අරමුණ කියලා.  මං කිව්වා කාටවත් කියන්න එපා කියලා. අද ෆේස්බුක් වලින් යන තොරතුරු වලින් පේනවා සමහර ඇමතිවරු මන්ත්‍රීවරු පොලිසියට, නිලධාරීන්ට බලපෑම් කරපු ඒවා. අපි ඒවා පිළිබඳව සොයා බලන්න ඕන. ඒකට තමයි හැට නව ලක්ෂයක් ජනතාව අපිට ඡන්දය දුන්නේ.

    ගෝඨාභය මහත්තයට කොච්චර දේවල් කෙරුවද. හිරේ දාන්න හැදුවා. අපහස කළා. ජනාධිපතිවරණයට ඉල්ලන එක නතර කරන්න හැදුවා. ඒ ඔවුන්ට අභියෝගයක් බව දැනුන නිසයි. තවමත් රනිල් වික්‍ර‍මසිංහ මහත්තයා සහ එක්සත් ජාතික පක්ෂය පත්කරපු නිලධාරීන් හොල්මන් කරන යුගයක් මේක. ආණ්ඩුව අප්‍ර‍සාදයට පත්කරන විදියේ ක්‍රියාකරන නිලධාරීන් ඉන්නවා කියලා අපිට පේනවා. මේ සියල්ල නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ මාර්තු මාසයේ මේ පාර්ලිමෙන්තුව විසුරුවලා, මහ මැතිවරණයක් පවත්වලා ජනාධිපතිවරණයේ දී ගත්තටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකින් බහුතරයක් සහිත ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙනුයි” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    Latest News