උණුසුම මැද ඌව අය වැය සම්මතයි

දෙසැ 07, 2018

    එජනිප - එජාප  දෙහුමුන් අමාත්‍ය මණ්ඩලයක් සහිත  ඌවපළාත් සභාවේ 2019 අයවැය ( මුදල් ප්‍රකාශය) වැඩි ජන්ද 28 කින් ඊයේ (6)ද රාත්‍රී සභා සම්මත විය.

    එජනිප - එජාප මන්ත්‍රීවරු ඊට පක්ෂව ජන්දය දුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න හා ආර්.එම් ජයවර්ධන යන මන්ත්‍රීවරු දෙදෙනා පමණක් විරුද්ධව ජන්දය පාවිච්චි කළහ.

    විවාදයේදී සමන්ත විද්‍යාරත්න මහතා මන්ත්‍රීවරුන් පිළිබදව කල ප්‍රකාශයක් නිසා උණුසුම් තත්වයක් ද මතුවිය .

    එජනිප හා එජාප මන්ත්‍රීවරු එම ප්‍රකාශය දැඩි විරෝධයක් දක්වමින් කියා සිටියේ සමන්ත විද්‍යාරත්න මහතාගේ එම ප්‍රකාශයෙන්  මන්ත්‍රිවරුන්ට අපහාසයක් වී ඇති බැවින් සමාව ගත යුතු බවයි.

    එම අවස්ථාවේ මන්ත්‍රීවරුන් නොසන්සුන්ව කෑගැසීම නිසා උනුසුම් වූ සභාව සුළු වේලාවකට  නතර වූ අතර  සභාපති ඒ. එම්. බුද්ධදාස මහතා සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා තම අසුන වෙත කැදවා සාකච්චා කළේය.

    අවසානයේ දී තම අසුන වෙත පැමිණි සමන්ත විද්‍යාරත්න මහතා තම ප්‍රකාශය පිළිබඳව මන්ත්‍රීවරුන්ට අවමානයක් සිදුවීනම් ඊට කණගාටුව පළකරන බව ප්‍රකාශ කළේය .

    එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසට ද ඔහු ඉල්ලා සිටියේය.

    මුදල් ප්‍රකාශය  ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් ඉකුත් 4 වනදා සභාවට ඉදිරිපත් කළේය.

    4,5,6 යන දිනහන්හි  අමාත්‍යාංශ  වැය ශීර්ෂයන් පිළිබදව  විවාදය පවත්වා වෙන් වෙන් වශයෙන් ජන්දය විමසූ අතර  ඒසියල්ල සභා සම්මත විය.

    ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය. මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන, විදුලිබල හා බලශක්ති, ඉදිකිරීම් හා ඉඩම් අමත්‍යාංශයේ වැය ශීර්ෂයට ද  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා පමණක් විරුද්ධව ජන්දය භාවිත කළහ.

     

    Last modified on සිකුරාදා, 07 දෙසැම්බර් 2018 10:29

    Latest News