ත්‍රීරෝද රථ ගාස්තුව පහළට

ජන 01, 2020

    අද සිට ක්‍රියාත්මක වන පරිදි තම සංගමයට අයත් ත්‍රීරෝද රථවල ගාස්තු අඩු කරන බව, ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, රජය ලබාදුන් බදු සහනය ජනතාවට ලබාදීමේ අරමුණෙන් එම තීරණය ගත් බවයි.

    ඒ අනූව, පළමු කිලෝ මීටරය සඳහා අය කෙරුණු රුපියල් 60/-ක ගාස්තුව රුපියල් දහයකින් අඩුකර තිබේ. දෙවැනි කිලෝ මීටරය ඇතුළු එතැන් සිට පටන් ගන්නා සෑම කිලෝ මීටරයක් වෙනුවෙන් අය කළ රුපියල් 45/-ක මුදල රුපියල් 40/- දක්වා අඩු කිරීමටයි, පියවර ගෙන ඇත්තේ. රජය ලබාදුන් බදු සහන යටතේ ත්‍රීරෝද රථ අමතර කොටස් මිල පහළ ගොස් තිබෙන බවත්, ඒ අනූව නව ගාස්තු අද සිට ජනතාවට ලබාදීමට තීරණය කළ බවත්, ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රීරෝද සංගමය සඳහන් කළේ.

    ලක්ෂ අටහමාරකට අධික ත්‍රීරෝද රථ සංඛ්‍යාවක් මගී සේවාවල නිරත වන බැවින්, සියලුම ත්‍රීරෝද රථ නියාමනය කර, මගී ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම තම සංගමයේ අරමුණ බව, එහි සභාපති සුනිල් ජයවර්ධන මහතා කියා සිටිනවා.

     

     

    Last modified on බදාදා, 01 ජනවාරි 2020 11:30

    Latest News