ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 'සුරක්ෂිතතා ප්ලැටිනම්' සම්මානය

ජන 17, 2021

    පශ්චාත් කොවිඩ් සමයේ දී මගී ආරක්ෂාව හා යහපැවැත්ම සඳහා වූ සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමත් වී තිබේ. ස්වාධීන හා පූර්ණ පරීක්ෂාවකින් පසු සුරක්ෂිතතා ප්ලැටිනම් ප්‍රමිතියට අනූව සම්මානය ලැබුණු බවයි එම සමාගම නිවේදනය කළේ.

    සම්මානය නම් කෙරුණේ ඇපෙක්ස් සිම්ප්ලිෆ්ලයින් ලෙසින්. මගී ආරක්ෂාව,සනීපාරක්ෂාව,සමාජ දුරස්ථභාවය රැකීම හා නිවැරදි සෞඛ්‍ය ආරක්ෂණ හා ආරක්ෂක ක්‍රියාමාර්ග පවත්වාගැනීම සම්මානය දිනා ගැනීමට හේතුවයි. ලෝක වසංගතයක් ව්‍යාප්ත වන අවස්ථාවේ දුෂ්කර කර්තව්‍යයක් හමුවේ සේවා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ගුවන් සමාගම කැපවී ඇතැයි,සම්මාන ප්‍රදානෝත්සවයේ දී සඳහන් කෙරිණ.

    ශ්‍රී ලංකාවේ දේශසීමා ජාත්‍යන්තර සංචරණ හා සංචාරක කටයුතු සඳහා යළි විවෘත වන මොහොතක ප්ලැටිනම් ස්ටෑන්ඩඩ් තත්වයේ සම්මානය ලැබීම මෙරට සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීමට හේතුවක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.

    මගී විශ්වාසය දිනා ගනිමින් කොවිඩ් අත්දැකීම් හමුවේ සිය සේවා සැපයීමට සමාගම ක්‍රියාකරයි. ඇපෙක්ස්හි ප්‍රධාන විධායක නිලධාරී,ආචාර්ය ජෝ ලීඩර් මහතා කියා සිටියේ, ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම කොවිඩ් 19 වසංගතය හමුවේ පාරිභෝගික ආරක්ෂාව සඳහා ගෙන ඇති පියවර විශ්මිත බවයි.

    ඒ අනූව දකුණු ආසියාවේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලෙස ගුවන් සේවය ඉහළට පැමිණ තිබෙන බවයි, ඔහුගේ අදහස. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ මාර්ගෝපදේශ අනුගමනය කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීමට වගබලා ගැනීම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අරමුණයි.

    Latest News