ප්ලාස්ටික් තහනම් !

අගෝ 23, 2023

    1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මගින් ලැබී ඇති බලතල ප්‍රකාරව 2023 ජූලි මස 19 වන දිනැති අංක 2341/30 දරන ගැසට් පත්‍රය මගින් තනි භාවිත ප්ලාස්ටික් අයිතම 09ක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා යොදාගැනීම තහනම් කර ඇත. 

    ඒ අනුව, තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන; තනි භාවිත ප්ලාස්ටික් පිගන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි; ප්ලාස්ටික් මල් මාලා; ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි යන අයිතම 2023 ඔක්තෝම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනමට ලක්වේ. මේ අනුව මෙම දිනයෙන් පසු උක්ත අයිතම රට තුළ නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, විකිණීම සඳහා අර්පණය, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, නොමිලයේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරිම තහනම් වන අතර තහනම කඩ කළහොත් ජාතික පාරිසරික පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ. 

    ප්ලාස්ටික් මගින් සිදුවන අතිවිශාල පරිසර දූෂණය වැළැක්වීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවකි. ඒ අනුව, මෙම තහනම පනවනු ලැබුයේ ද අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් අයිතම භාවිතය සහ ඒ ආශ්‍රිතව පැන නගින පාරිසරික ගැටලු අවම කර ජීවීන් ඇතුළු පරිසරය රැකගැනීමට පිටිවහලක් ලබාදීමේ අරමුණෙනි.

    එමෙන්ම පරිසර හිතකාමී විකල්ප ආශ්‍රිත දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ද ප්ලාස්ටික් ආනයනයේදී විදේශ විනිමය අඩුකර ගැනීමට ද මින් පිටිවහලක් සැලසේ. 

     

    Latest News