උතුරු කොරියාවත් ඩ්‍රෝන් යානා නිපදවයි

අගෝ 28, 2024

    උතුරු කොරියාව විසින් නිපදවනු ලැබූ ඩ්‍රෝන යානා පරීක්ෂා කිරීම එරට ජනපති කිම් ජොන් උන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුනා.

    එහිදී ඩ්‍රෝන යානා දකුණු කොරියාවේ K-2 යුධ ටැංකියකට සමාන ව්‍යාජ ඉලක්කයන් විනාශ කරන අයුරු නිරූපණය කොට අත්හදා බලා තිබෙනවා.

    උතුරු කොරියානු ඩ්‍රෝන යානා රුසියාව විසින් නිෂ්පාදනය කරනු ලබන ලැන්සෙට් (LANCET) සහ ඊශ්‍රායලයේ හීරෝ-30 (HERO-30) මාදිලිවලට සමාන බව හමුදා විශේෂඥයින් ප්‍රකාශ කරනවා.

    'සියදිවි නසාගැනීමේ' ඩ්‍රෝන් ලෙස උතුරු කොරියාව විසින් එළිදැක්වූ මේවා යුක්රේනයට පහර දීම සඳහා රුසියාව විසින් භාවිතා කරන ලද ඉරානයේ "ෂාහෙඩ්" ඩ්‍රෝනයට අතිෂයින් සමානකමක් දක්වන බව යුධ විශ්ලේෂකයින් හඳුනාගෙන තිබෙනවා.

    උතුරු කොරියාවේ නිල කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ සෙනසුරාදා දිනයේ සිදු කළ ඩ්‍රෝන් පරීක්ෂණයට ගොඩබිම සහ මුහුදේ සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා විවිධ පරාසයන් වල පියාසර කිරීමට සාදන ලද විවිධ වර්ගයේ ඩ්‍රෝන යානා ඇතුළත් වූ බවයි.

    හමුදාව හැකි ඉක්මනින් දියුණු ඩ්‍රෝන යානා වලින් සන්නද්ධ කළ යුතු බවත් කිම් මෙහිදී පවසා තිබෙනවා.

    එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ද එක්සත් ජනපදයේ නිපදවූ F-35 ප්‍රහාරක යානා සහ USS Boxer ප්‍රහාරක නෞකාව, ගුවන් යානා විශාල ප්‍රමාණයක්ද යොදා ගනිමින් Ssangyong යුධ අභ්‍යාසය ආරම්භ කර තිබෙනවා. එය සැප්තැම්බර් 07 දක්වා ක්‍රියාත්මකයි.

    Last modified on බදාදා, 28 අගෝස්තු 2024 11:54

    Latest News