උතුරු කොරියාව බැලුන් යැවීමට හේතුව

ජූනි 02, 2024

    උතුරු කොරියාව දකුණු කොරියාව දෙසට අපද්‍රව්‍ය සහිත බැලුන යළි යවා ඇති බව වාර්තා වනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, උතුරු කොරියාව මෙවැනිම ක්‍රියාවක් පසුගියදා ද සිදු කළ බවයි.

    තම රට සම්බන්ධ විරෝධි අත්පත්‍රිකා දේශසීමාව හරහා ගුවන්නින් හෙළිමට දකුණු කොරියාව ක්‍රියා කර ඇති බව උතුරු කොරියානු බලධාරින් පවසනවා.

    ඔවුන් පෙන්වා දෙන්නේ ඊට ප්‍රතිචාර ලෙස මෙලෙස අපද්‍රව්‍ය සහිත බැලුන දකුණු කොරියාව වෙත යැවීමට පියවර ගත් බවයි.

    මෙම සතියේ මුල් කාලසීමාවේද උතුරු කොරියාව විසින් දකුණු කොරියාව වෙත මෙවැනිම අපද්‍රව්‍ය සහිත බැලුන යැවීම පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. දකුණු කොරියාවේ සෝල් අගනුවර ඇතුළු ඊට තදාසන්න ප්‍රදේශ කිහිපයකට කඩදාසි, ඉවතලන ප්ලාස්ටික් සහ ඉවතලන සිගරට් වැනි අපද්‍රව්‍ය සහිත බැලුන පතිත වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.


    කෙසේ වුවද දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය එරටට පතිතවූ බැලුන සංඛ්‍යාව හෝ උතුරු කොරියාව විසින් එවා ඇති බැලුන සංඛ්‍යාව පිළිබඳ ‍තොරතුරු දක්වා නැහැ.

    ගුවනින් පතිතවන සැක සහිත වස්තුන්ගෙන් ප්‍රවේශම් වන ලෙසත්, ඒවා ස්පර්ශ නොකර ලෙසටත් දකුණු කොරියානු හමුදාව එරට ජනතාවට දැනුම් දී තිබෙනවා.

    එවැනි වස්තූන් පිළිබඳව කඩිනමින් ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙසයි ‍ජනතාවට අවධාරණය කර ඇත්තේ, බැලුන පතිත වීමෙන් සිදු වූ පුද්ගල අනතුරු කිසිවක් මෙතෙක් වාර්තාවී නැහැ.

    Latest News