මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයින්ට වැඩ වරදියි

ඔක් 24, 2023
    හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 225 කට වැඩි තොගයක් ප්‍රවාහන කළ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. හෙරොයින් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 4,500 කට අධිකයි.

    මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ එම යාත්‍රාව, අද පෙරවරුවේ කොළඹ වරාය වෙත රැගෙන ආවා.මෙහෙයුම සිදු කෙරුණේ, රාජ්‍ය බුද්ධි සේවාව මගින් ලද බුද්ධි තොරතුරකට අනුවයි.

    මෙම ධීවර යාත්‍රාව, තංගල්ල කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇත්තේ, මීට සති කිහිපයකට ඉහතදී. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද බුද්ධි තොරතුරු අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව, අදාළ වැටලීම සඳහා පිටත්ව ගොස් තිබුණා.
    ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගැනුණේ, ශ්‍රී ලංකාවට දකුණින් නාවික සැතපුම් 292 ක් ගැඹුරු මුහුදේදී. ඒ වන විට අල්ලා ගන්නා ලද මසුන් තොගයක් ද ධීවර යාත්‍රාවේ තිබූ බවයි, නාවික හමුදාව පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    ඔවුන් අවුරුදු 30 ත් 48 ත් අතර පසු වන්නන් බවයි, නාවික හමුදාව පවසන්නේ. සැකකරුවන්, කුඩාවැල්ල, තිස්සමහාරාම, කෝට්ටේගොඩ සහ මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන්.
    මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ‍ජනාධිපති ‍ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ නාවික හමුදාපති වයස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් පැමිණ සිටියා.

    Latest News