ඉන්දියාව හැඬවූ මාරක දුම්රිය අනතුර - ශ්‍රී ලංකාවේත් ශෝකය

ජූනි 04, 2023

    ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ සිදු වූ මාරක දුම්රිය අනතුරට වගකිව යුතු පුද්ගලයන්ට දැඩි දඩුවම් ලබා දෙන බව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

    මගී දුම්රිය දෙකක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙන් මියගිය පිරිස 300 කට ආසන්නයි. ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මෙම ‍අනතුර සම්බන්ධයෙන් සිය බලවත් ශෝකය පළ කර තිබෙනවා. දුම්රිය අනතුරෙන් මියගිය පිරිසට අමතරව, තවත් 800 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා සිටිනවා.

    විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වනවිට අවසන් කර ඇති අතර, බලධාරින් පවසන්නේ, තුවාල ලැබු සහ සුන්බුන් යට සිරවී සිටි සියල්ලන්ම පාහේ මුදාගෙන අවසන් බවයි. අනතුර සිදු වූ ස්ථානය, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි‍ගේ නිරීක්ෂණයට ලක්වුණා.

    තුවාල ලැබුවන්ගේ සුවදුක් විමසීම සඳහා ඔවුන් ප්‍රතිකාර ලබන රෝහල් වෙත ගිය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, රජය මේ සම්බන්ධයෙන් හැකි උපරි‍මයෙන් ක්‍රියා කරන බවයි. අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව හෙළි වී නැහැ.

    මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මූලික වාර්තා අනුව පෙනීගොස් ඇත්තේ, දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් අනතුරට බලපා ඇති බවයි. මෙම සිදුවීම සැලකෙන්නේ මේ සියවස තුළ ඉන්දියාවේ සිදු වූ දරුණුතම දුම්රිය අනතුර ලෙසයි.

    2004 වසරේ, සුනාමි ඛේදවාචකයත් සමග ‍ශ්‍රී ලංකාවේ සිදු වූ පැරෑලිය දුම්රිය අනතුරට පසු ලොව සිදු වූ දරුණුතම දුම්රිය අනතුර මෙය බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. අනතුරට පත් මගී දුම්රිය දෙකෙහි මගීන් 2000 ක් පමණ සිටි බවයි, වාර්තා වන්නේ.

    Latest News