ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග පාකිස්ථානයේ ගැටුම්

මැයි 10, 2023

    පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට ආරක්ෂක අංශ සහ ඔහුගේ ආධාරකරුවන් අතර ප්‍රචණ්ඩ ගැටුම් හටගෙන තිබෙනවා.

    රට පුරා විරෝධතා ඇති වෙමින් පවතින අතර, ක්වෙටා නගරයේ එක් අයෙකු මියගොස්, තවත් බොහෝ පිරිසක් තුවාල ලබූ බව විදෙස් වාර්තාවල සඳහන්.

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට පෙනී සිටීමට ඉස්ලාමාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනුණා. අග්‍රාමාත්‍ය ධුරය දරන සමයේ විදෙස් රාජ්‍යතාන්ත්‍රික සංචාරයන්හිදී තමාට ලැබුණු ත්‍යාග සහ ප්‍රදානවල වටිනාකම අඩුවෙන් තක්සේරු කර ඉදිරිපත් කිරීමද ඔහුට එල්ලවී ඇති එක් චෝදනාවක්. 100කට ආසන්න ආයුධ සන්නද්ධ පකිස්ථාන අතුරු හමුදාවක් විසිනුයි ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනුණේ. ත්‍රස්තවාදියෙකු අත්අඩංගුවට ගන්නා ආකාරයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පවසමින් ඉම්රාන් ඛාන්ගේ ටෙරීක්ඊ ඉන්සාෆ් පක්ෂය එරට රජය චෝදනා කරනවා. හමුදා භට පිරිස් ඉම්රාන් ඛාන්ගේ හිසට පහර දී ඇති බවත්, ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති බවත් නීතීඥවරයා ප්‍රකාශ කළ බව විදෙස් වාර්තාවල සඳහන්. කෙසේ වුවද ඊයේ අධිකරණ පරිශ්‍රයේදී ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අධිකරණයද කරුණු විමසා සිටියා. ඒ, අදාළ නියෝගය කවුරුන් විසින් නිකුත් කළේද සහ එය නීත්‍යනුකූලද යන්න තහවුරු කර ගැනීම සඳහායි. මේ වන විට එම අත්අඩංගුවට ගැනීම අනීතික නොවන බවට අධිකරණය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    Latest News