ඉම්රාන් ඛාන් විශ්වාසභංග යෝජනාවෙන් පරාජය වේ...

අප්‍රේ 10, 2022

    පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විශ්වාසභංග යෝජනාවෙන් පරාජය වී තිබෙනවා.

    එරට පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධ ඡන්ද විමසීම පැවැත්වුණේ, අද (10) අලුයමදී. පකිස්තාන පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට අවශ්‍ය අවම ඡන්ද ප්‍රමාණය 172ක් වුවද අගමැතිවරයාට එරෙහිව ඡන්ද 174ක් ලැබී තිබුණා. පී ටී අයි පක්ෂයේ සාමාජිකයින් ඡන්ද විමසීමට සුලු වේලාවකට පෙර සභා ගර්භයෙන් පිටව ගොස් තිබෙනවා.

    ඔවුන් සියලුදෙනා පෙන්වා දෙන්නේ අගමැතිවරයා අන්තර් ජාතික කුමන්ත්‍රණයක ගොදුරක් බවයි. අමෙරිකාව ප්‍රමුඛ කුමන්ත්‍රණකරුවන් පිරිසක් මේ පිටුපස සිටින බව ඉම්රාන් ඛාන් පවසනවා. විශ්වාසභංගයෙන් අනතුරුව, නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කර ගැනීම සඳහා පකිස්තාන පාර්ලිමේන්තුව හෙට දිනයේ රැස්වීමට නියමිතයි.

    තමා විපක්ෂයේ රජයක් නොපිළිගන්න බව ද ඉම්රාන් ඛාන් කියා සිටිනවා. පකිස්තාන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, පරාජය වීමෙන් අනතුරුව, ඉම්රාන් ඛාන් තම නිල නිවසින්ද පිටව ගොස් ඇති බවයි. ඉම්රාන් ඛාන් එරට හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර, පකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය ගෙන එන අවස්ථාවේ එහි නායකත්වය දැරුවේද ඔහුයි.

    ඉම්රාන් ඛාන් එරට දූෂණය හා වංචාවට එරෙහිව ක්‍රියා කළ නායකයෙක්. ඔහු එරට ආර්ථිකය නගා සිටුවීමට ද පියවර රැසක් ගත් බව, විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

    Last modified on ඉරිදා, 10 අප්‍රේල් 2022 13:03

    Latest News