අමෙරිකා මධ්‍ය මැතිවරණයේ උණුසුම වැඩි වෙයි

නොවැ 10, 2022

    අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණය උණුසුම් තත්වයට පත්ව තිබෙනවා. නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව, සෙනෙට් සභාවේ පාලන බලය හිමි කර ගැනීමට රිපබ්ලිකන් සහ ඩිමො‍ක්‍රටික් පක්ෂ දැඩි අපේක්ෂාවකින් පසුවන බවයි, වාර්තා වන්නේ.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, සෙනෙට් සභාවේ බලය එක් ආසනයක් මත තීරණය වනු ඇති බවයි.

    ඇරිසෝනා, නෙවාඩා, ජෝර්ජියා යන ප්‍රාන්තවල සමස්ත මැතිවරණ ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නැහැ. සෙනෙට් සභාවේ පාලන බලය හිමි කර ගැනීමට නම්, රිපබ්ලිකන් හෝ ඩිමොක්‍රටික් පක්ෂ මෙම ප්‍රාන්ත අතරින් ප්‍රාන්ත දෙකක බලය ලබා ගත යුතුයි. ඇරිසෝනා සහ ‍නෙවාඩා ප්‍රදේශයන්හි ඡන්ද ප්‍රතිඵල ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වුවද, ජෝර්ජියා ප්‍රාන්තයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා සියයට 50 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන නොමැති බැවින්, නැවතත්, දෙසැම්බර් 6 වැනිදා පැවැත්වෙන අතුරු මැතිවරණයේදී එම ආසනයේ හිමිකරු තීරණය කෙරෙන බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    නිකුත් වූ ප්‍රතිඵල පිළිබඳව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ඔහු සඳහන් කර ඇත්තේ, පැවති මැතිවරණයෙන් යම් තරමකට තමා අපේක්‍ෂා කළ ප්‍රතිඵල නොලැබී ඇතත්, රිපබ්ලිකන් පක්ෂය ඉතා විශාල ජයග්‍රහණයක් ලබා ගත් බවයි. ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්මින් මාධ්‍යයට ඊයේ පවසා ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදය මෑත වසරවල පරීක්ෂාවට ලක් වූ නමුත්, අමෙරිකානු ජනතාව ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ඇති බවයි. එය මෙම මැතිවරණයෙන් ද පෙන්නුම් කර තිබෙන බව, ඔහු පෙන්වා දෙනවා.

    Latest News