"ඊයෑන්" සුළි කුණාටුවෙන් ‍‍‍‍අමෙරිකාවේ ෆ්ලොරිඩාවට බලපෑම්

සැප් 29, 2022

    "ඊයෑන්" සුළි කුණාටුවෙන් ‍එක්සත් ජනපදයේ නිරිතදිග ‍‍‍ෆ්ලොරිඩාවට ද, බලපෑම් එල්ල වී තිබෙනවා.

    ‍ ප්‍රබල කුණාටුව හේතුවෙන් එහි වීදී සහ ගොඩනැගිලි රැසක් ගංවතුරින් යටවී ඇති අතර, මිලියනයකට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්.

    "ඊයෑන්" සිව් වැනි කාණ්ඩයේ ප්‍රබලත්වයකින් යුත් සුළි කුණාටුවක් ලෙසයි, වාර්තා වන්නේ. ‍මෙය ඊයේ සවස් කාලයේ දී අමෙරිකාවේ "කයෝකොස්තා" අසල වෙරළට ඇතුල් වූ බව, එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය සඳහන් කළා. ෆ්ලොරීඩා ප්‍රාන්තය හරහා ගමන් කරන කුණාටුවේ සුළගේ වේගය පැයට කිලෝ මීටර 240 ක් පමණ වන බව, වාර්තා වනවා. දැඩි සුළං හා ධාරාණිපාත වැසි හේතුවෙන් එක්සත් ජනපදයේ "ගල්ෆ්" වෙරළතීරය ආශ්‍රිත ප්‍රදේශය විනාශකාරී තත්වයක් ඇති වීමේ ඉහළ අවදානමක පවතින බව‍ට, බලධාරීන් අනතුරු අගවනවා. වෙරළ ආශ්‍රිතව පදිංචිකරුවන්ට දැනුම් දී ඇත්තේ, අදාළ ස්ථානවලින් කඩිනමින් ඉවත් වන ලෙසයි. කුණාටුවේ බලපෑමෙන් ලොරිඩාහි නිවාස සහ ව්‍යාපාර ස්ථාන මිලියන 1.1 කට වැඩි ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී තිබෙනවා.

    එක්සත් ජනපද දේශසීමා අසළ සිටින වෙරළාරක්ෂක හමුදාව පවසන්නේ, සරණාගතයින් රැගත් බෝට්ටුවක් ගිලී යාමෙන් 20 දෙනෙකු ඇතුරුදන් වී ඇති බවයි. කියුබානු ජාතිකයින් සිව් දෙනෙකු ෆ්ලොරිඩාහි, කීස් දූපත්වල වෙරළට පිහිනා ගොස් සිය දිවි බොරා ගෙන ඇති අතර, තවත් සංක්‍රමනිකයින් තිදෙනෙකු වෙරළාරක්‍ෂකයින් විසින් මුහුදේ දී බේරාගෙන ඇති බවයි, වාර්තා වන්නේ. කුණාටුව මීට පෙර බලපෑවේ කියුබාවටයි. එහිදී පුද්ගලයින් තිදෙනෙකු මිය ගියා. එහිදී, එරට විදුලි පද්ධතිය ද බිඳ වැටීමකට ලක් වුණා. "ඊයෑන්" සුළි කුණාටුව රටේ අභ්‍යන්තරයට ගමන් කරන විට නිවර්තන සුළි කුණාටුවක් දක්වා දුර්වලවනු ඇතැයි,‍ අපේක්‍ෂා කෙරෙන බව, එක්සත් ජනපද කාලගුණ සේවය පවසනවා. සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩාහි, පාසල් 60 ක් වසා තබා තැබීමට පියවර ගෙන තිබෙනවා. අවතැන් වූවන් සඳහා මධ්‍යස්ථාන 175 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මකයි. ඉන් බොහොමයක් පාසල් ගොඩනැගිලි, නවාතැන් බවට පත්කර ඇති බව, ‍ෆ්ලොරිඩා ආණ්ඩුකාරවරයා පවසනවා. වාණිජ ගුවන්සේවා 2000 කට අධික සංඛ්‍යාවක් කුණාටුව හේතුවෙන් සිය ගුවන් ගමන් වාර අවලංගු කර ඇති බවද, විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News