ජෝ බයිඩන්ගෙන් විශ්වවිද්‍යාල සිසුන්ට සහනයක්

අගෝ 25, 2022

    අමෙරිකාවේ විශ්වවිද්‍යාල ගාස්තු ගෙවීමේදී සිසුන්ට ඩොලර් දසදහසක සහනයක් ලබාදීමට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා. 

    ඔහු ප්‍රකාශ කර ඇත්තේ, සිය මැතිවරණ පොරෙන්දුවක් ඉටු කරමින්, මේ පියවර ගත් බවයි.  රට තුළ දශක ගණනාවක සිට පවතින අධ්‍යාපන ණය පිළිබඳ බරපතල ගැටලුවක් විසඳීමට මෙමගින් හැකි වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. 

    පෙල් ග්‍රාන්ට්ස් නමැති ෆෙඩරල් රජය සපයන විශ්වවිද්‍යාල සහනාධාරයද ලබන සිසුන්ට අමෙරිකානු ඩොලර් විසිදහසකින් ගාස්තු අඩු කිරීමටයි ජනාධිපති බයිඩන් තීරණය කර ඇත්තේ. 

    සිය වාර්ෂික ආදායම ඩොලර් එක්ලක්ෂ විසිපන්දහසට අඩු පුද්ගලයන්ට මෙම සහනය හිමි වනවා.  සිය පරිපාලනය තුළ මධ්‍යම පාන්තික ජනතාවට ජීවත් වීමට පහසු තත්වයක් ඇති කිරීමේ තවත් පියවරක් ලෙස මෙය ක්‍රියාවට නංවන බවද ජනාධිපතිවරයා කියා සිටිනවා.

    අමෙරිකානුවන් මිලියන 43 කට ෆෙඩරල් ශිෂ්‍ය ණය ලෙස ඩොලර් ට්‍රිලියන 1.6 ක මුදලක් ගෙවිය යුතු බවට ඇස්තමේන්තු කර තිබෙනවා.  එරට විශ්ලේෂකයන් පවසන්නේ, කොංග්‍රස් මණ්ඩලයට, ඩිමොක්‍රටික් අපේක්ෂකයන් තෝරා ගැනීමේ මැතිවරණය පැවැත්වෙන මොහොතක මෙම පියවර ගැනීම දේශපාලනිකව වාසි සහගත වනු ඇති බවයි.

    කෙසේ වුවද, පවතින උද්ධමනය හමුවේ මෙම සහනය ප්‍රමාණවත් නොවන බවත්, ලබාගෙන ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍ය ණය සම්පූර්ණයෙන්ම කපාහරින ලෙසත් ඉල්ලමින් අමෙරිකානු ශිෂ්‍යයන් විරෝධතාවල නිරතව සිටිනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අගෝස්තු 2022 10:06

    Latest News