රුසියානු නාවුක හමුදාවට අති නවීන හයිපර්සොනික් මිසයිල

අගෝ 01, 2022

    රුසියානු නාවුක හමුදාවට අති නවීන හයිපර්සොනික් මිසයිල ලබා දෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා.

    ඔහු පවසන්නේ ඉදිරි මාස කිහිපය ඇතුළතදී මෙම අවි ඔවුන් වෙත ලබාදෙන බවයි.

    ඊයේ පැවති රුසියානු නාවුක දිනය අමතමින් ව්ලැදිමීර් පුටින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. හයිපර්සොනික් හෙවත් අධිවේගී මිසයිල සහ අධිවේගී නෞකා නාෂක මිසයිල ද ලබා දෙන බවයි ඔහු සඳහන් කර සිටියේ. අද්මිරාල් ගෝෂ්කෝෆ් යුධ නෞකාවට මෙම අවි පද්ධති මුලින්ම ලබා දෙනු ඇති. රුසියානු ජනාධිපතිවරයා පවසා සිටියේ කිසිදු මිසයිල නාෂක අවියකට මෙම සයිපර්සොනික් මිසයිලවලට බාධා කළ නොහැකි බවයි. ශාන්ත පීටර්ස්බර්ග් පැවති මෙම රුසියානු නාවුක දින සැමරුමට රුසියානු නාවුක හමුදාවේ අභිමානය පෙන්වන ආකාරයේ විශේෂාංග රැසක් එක් කර තිබූ අතර අතීත සහ වර්තමාන රුසියානු යුධ නෞකාවන් මෙන්ම නවීන යුධ උපකරණද එහිදී ප්‍රදර්ශනය කෙරුණා. රුසියාව සිය සමුද්‍රීය අවශ්‍යතා “අධිෂ්ඨානශීලීව සහ එහි සියලු හැකියාවන්ගෙන්” ආරක්ෂා කරන බව රුසියානු ජනාධිපති පුටින් වැඩිදුරටත් පවසා සිටියා.

    Latest News