අමෙරිකානු ප්‍රහාරයකින් අල්කයිඩා නායකයා මරුට

අගෝ 02, 2022

    අල් කයිඩා සංවිධානයේ නායක අයිමාන් අල් සවාහිරි ඝාතනය කළ බව අමෙරිකාව පවසනවා. ඔහු මියගොස් ඇත්තේ, ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිටියදී අමෙරිකාව එල්ල කළ ප්‍රහාරයකින්.

    ප්‍රහාරය සඳහා ජනාධිපති ජෝ බයිඩන් ඍජුව අණ දී තිබෙනවා. අල් සවාහිරී 2001 වසරේ අමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ වසර කිහිපයකට පෙර අමෙරිකානු යුධ නෞකාවකට ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ ත්‍රස්ත ප්‍රධානීන් කිහිප දෙනාගෙන් අයෙක්.

    අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ සාමාන්‍ය ජනතාවට කිසිදු හානියක් සිදු නොවන ආකාරයෙන් මෙම ප්‍රහාරය එල්ල කිරීමට ඔහු අණ දුන් බවයි.

    අයිමාන් අල් සවාහිරි වැනි ත්‍රස්තවාදීන් ලෝකයට තවත් අවශ්‍ය නොවන බව බයිඩන් පවසනවා.  අල් සවාහිරී රැඳී සිටි නිවස ඉලක්ක කර අමෙරිකාව ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල කර ඇති අතර ඉන් එම නිවසේ ඔහු රැඳී සිටි මහල මුළුමණින්ම විනාශ වී තිබෙනවා. කිසිදු සාමාන්‍ය වැසියෙකු ප්‍රහාරයෙන් මියගොස් නැති බවයි අමෙරිකාව පවසන්නේ.  

    අමෙරිකාව, 2011 වසරේ හිටපු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමීමෙන් පසු, අයිමාන් අල් සවාහිරි එම සංවිධානයේ නායකත්වය පත් වුණා.      

    Last modified on අඟහරුවාදා, 02 අගෝස්තු 2022 11:44

    Latest News