බොරිස් ජොන්සන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ජූලි 08, 2022

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා තම කන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

    නමුත් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කරන තෙක් භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු වැඩිදුරටත් කටයුතු කරන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමට හේතු වී තිබෙන්නේ, ඔහුගේ කන්සවේටිව් පක්ෂයේ සාමාජකයින් අතර ඇති වූ මතභේදාත්මක ගැටලු බවයි වාර්තා වන්නේ. ඉකුත් අඟහරුවාදා සිට පැය 36 ක කාලයක් තුළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මේ අතර, මහා භාණ්ඩාගාරයේ චාන්සලර්වරයා සහ සෞඛ්‍ය ලේකම් සජීඩ් ජාවිඩ් ද රජයෙන් ඉවත් වුණා. ඉල්ලා අස් වූ බොහෝදෙනා ජොන්සන් යටතේ තවදුරටත් සේවය කළ නොහැකි බව පැවසූ අතර, බොහෝදෙනා ඔහුට ඉල්ලා අස්වන ලෙසට බල කර තිබෙනවා.

    බොරිස් ජොන්සන් මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව, ඔහු වෙනුවට අනුප්‍රාප්තිකයෙක් පත් කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඔහු ඉවත් වීමට දින කිහිපයකට පෙර සිටම දැඩි මතභේදාත්මක තත්වයක් උද්ගත වී තිබුණා. මේ වන විට බොරිස් ජොන්සන් මහතා වෙනුවට කන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා නම් කිහිපයක්ම යෝජනා වී තිබෙනවා.

    Latest News