ඇෆ්ගනිස්ථානයේ විදෙස් මුදල් තහනමක්

නොවැ 04, 2021

    තලෙයිබාන් පාලනය ඇෆ්ගනිස්ථානය තුළ විදෙස් මුදල් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

    එම තීරණය ගනු ලැබ ඇත්තේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන්. ඇෆ්ගනිස්ථානයේ ආර්ථිකය මේ වන විටත් පිරිහී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
    ගෝලීය ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී ඇත්තේ, කඩා වැටී ඇති ආර්ථිකය තවදුරටත් දුර්වල වීමට විදෙස් මුදල් තහනම් හේතු විය හැකි බවයි.

    එහෙත්, රටේ ආර්ථික හා ජාතික අවශ්‍යතා සඳහා සියලුම ඇෆ්ගනිස්ථානුවන් සෑම වෙළෙඳ කටයුත්තක් සඳහාම ඇෆ්ගනිස්ථාන මුදල් පමණක් භාවිත කළ යුතු බව තලෙයිබාන් රජය පවසයි.

    තලේබාන් සංවිධානය එරට පාලනය ලබා ගැනීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය ආධාර ලැබීම නතර වී තිබේ. එම නිසා රටේ ආර්ථිකය අසීරු තත්වයකට පත්විය.

    කෙසේ වුවද මේ වන විට අමෙරිකානු ඩොලරය, ඇෆ්ගනිස්ථානයේ වෙළෙඳපොලවල බහුලව භාවිතා වන මුදල් ඒකකයන් වී තිබේ. රටේ පවත්නා අස්ථිරතාව හේතුවෙන් බොහෝ වෙළෙඳ පිරිස් ඩොලරය වෙත යොමුවී ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 නොවැම්බර් 2021 12:14

    Latest News