ඇෆ්ගනිස්තානයේ බලය තලේබාන් සටන්කාමීන්ට

අගෝ 16, 2021

    ඇෆ්ගනිස්තාන අගනුවර වන කාබුල් නගරය තලේබාන් සටන්කාමීන් විසින් අත්පත් කර ගෙන ඇති බව වාර්තාවේ.

    තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ සම්පූර්ණ බලය තහවුරු කර ගැනීමත් සමඟ ජනාධිපති අෂ්රෆ් ඝානි ඊයේ (15) රටින් පිටව ගිය බව එරට ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සහ ජ්‍යෙෂ්ඨ රාජතාන්ත්‍රිකයකු වන අබ්දුල්ලා අබ්දුල්ලා ප්‍රකාශ කළේය. අබ්දුල්ලා අබ්දුල්ලා ජනපති ඝානිව එහිදී හඳුන්වා දුන්නේ හිටපු ජනපති යනුවෙනි. ඇෆ්ගනිස්තානයේ උගතකු වන ඝානි 2014 දී ජනපති වශයෙන් පත්වී 2019 දී දෙවන වරටත් ජයග්‍රහණය කළේය. නමුත් ඔහු 2020 මාර්තු මස වන තෙක් ජනපති පදවියේ දිවුරුම් දුන්නේ නැත. ඇමරිකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල දෙකක කථිකාචාර්යවරයකු ලෙස 1983 සිට 1991 දක්වා සේවය කළ ඝානි පසුව ලෝක බැංකු නිලධාරියෙක් ලෙස සේවය කළේය. ඇමරිකාවේ වොෂින්ටන් නුවර ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ඉන්ස්ටිටියුෂන් හි සේවය කළ ඔහු සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු එය භාවිත කරමින් මාස කිහිපයකට පසු ඇෆ්ගනිස්තානයේ දේශපාලනයට පිවිසියේය. මේ අතර තලේබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇෆ්ගන් රජයේ හෝ හමුදාවේ සේවය කරන අයගෙන් පළිගැනීමේ චේතනාවක් නොමැති බවය.

    එසේම තම සංවිධානයට එරෙහිව සටන් කළ කිසිවකු බිය විය යුතු නැති බවත් තව දුරටත් සටන් කිරීමට උත්සාහ නොකරන ලෙසත් ඔවුන්ට සාමාන්‍ය පරිදි ගත කළ හැකි බවත් ඇෆ්ගන් ජනතාව වෙත ඔවුන් දැනුම් දී තිබේ. සති දෙකක් ඇතුළත ඇෆගනිස්තානයේ සියලුම ප්‍රධාන නගරවල බලය සියතට ගත් තලේබාන් සටන්කාමීහු ඊයේ (15) පස්වරුවේ එරට අගනුවර වන කාබුල් නගරය වට කළ අතර කාබුල්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන් ගුවන් මගින් ඉවත් කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    Latest News