තලේබාන් ත්‍රස්තවාදීන් කාබුල් අගනුවර හැර, ප්‍රධාන නගරවල බලය තහවුරු කර ගනී

අගෝ 15, 2021

    තලේබාන් ත්‍රස්තවාදීන් මේ වනවිට ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හැර අනෙක් සියලුම ප්‍රධාන නගරවල බලය තහවුරු කරගෙන සිටී.

    මේ වනවිටත් තලේබාන් සංවිධානය කාබුල් අගනුවර ආසන්නයටම සිය බලය ව්‍යාප්ත කර ගෙන අවසන්. ඔවුන් එරට සම්පූර්ණ පාලනය අත්පත් කර ගැනීමට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සටන්කාමීන් අද දිනයේ එරට ප්‍රධාන නගරයක් වූ ජලාලාබහාද්හි බලය තහවුරු කරගනු ලැබුවේ කිසිදු ප්‍රතිරෝධයකින් තොරවයි.

    එරට රජයේ හමුදා ත්‍රස්තවාදීන්ට කිසිදු ප්‍රතිප්‍රහාරයක් එල්ල නොකරම නගරයෙන් ඉවත් වී තිබිණ. මේ වනවිට ජනාධිපති අශ්රෆ් ඝානි හට නගරය බේරා ගැනීම සඳහා සටන් කිරීමට හෝ බලය අතහැර යටත් වීමට සිදුව තිබේ.

    අමෙරිකාව ඇතුළු රටවල් රැසක් ඇෆ්ගනිස්තානයේ සිටින සිය රටවැසියන් හා දූත පිරිස් එරටින් ඉවත්කර ගැනීම ආරම්භ කර තිබේ. තලේබාන් සංවිධානය විශාල ලෙස සිය ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කරගැනීම ආරම්භ කළේ, අමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා එරටින් ඉවත්වීමට තීරණය කිරීමත් සමඟයි.

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩින් සඳහන් කරන්නේ තම රටට තවදුරටත් තවත් රටක දිගින් දිගටම යුදමය මැදිහත්වීමක් සිදු කිරීම සාධාරණ නොවන බවයි.

    Latest News