අමෙරිකාවේ කොරෝනා මරණ 61000 ඉක්මවයි

අප්‍රේ 30, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට ලොව වැඩිම බලපෑමට ලක්ව ඇති අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව හැට එක් දහස ඉක්මවා ගොස් තිබේ.

    ඉකුත් පැය 24 තුළ එරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව, දෙදහස් තුන්සිය අනූවක්.

    අමෙරිකාවේ ඉකුත් පැය 24 තුළ කොරෝනා නව ආසාදිතයින් 28,429 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ, එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව දස ලක්‍ෂ හැට හතර දහස ඉක්මවමිනි. කෙසේ වුවත්, අමෙරිකාව තුළ වෛරසය ආසාදනය වී මෙතෙක් සුවය ලබා ඇත්තේ, එක් ලක්‍ෂ 47,000කට අධික පිරිසක් පමණි. කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකානු ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඒ අනුව එරට ආර්ථිකය මේ වසරේ මුල් කාර්තුවේ දී දශකයකට වඩා වැඩි කාලයක් තුළ එහි දරුණුතම අවපාතය පෙන්නුම් කර ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්. ලොව ප්‍රබලම ආර්ථිකයට හිමිකම් කියන අමෙරිකාවේ ආර්ථිකය වාර්ෂිකව 4.8%ක අනුපාතයකින් පහළ ගොස් ඇති බව ඊයේ නිකුත් කළ නිල සංඛ්‍යා ලේඛනවල දැක්වේ. අමෙරිකානු මහ බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදකයින් ප්‍රකාශ කර ඇත්තේ, කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ පමණක් නොව සමස්ත ලෝකටම මානව හා ආර්ථික දුෂ්කරතා උග්‍ර ලෙස ඉහළ යනු ඇති බවයි. මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක ජගහනයෙන් අඩකගේ ජීවනෝපාය අහිමිව යනු ඇති බවට ද ජාත්‍යන්තර කම්කරු සංවිධානය අනතුරු අඟවා තිබේ.

    Latest News