කොවිඩ් 19 රෝගය සඳහා එන්නතක්

අප්‍රේ 24, 2020

    කොවිඩ් 19 රෝගය පිටුදැකීම සඳහා යුරෝපයේ තනන ලද ප්‍රතිශක්තිකරණ එන්නතක් ප්‍රථම වරට මිනිසුන් යොදා ගනිමින් අත්හදා බැලිණ.

    ඒ බ්‍රිතාන්‍ය යේ ඔක්ස්ෆර්ඩ්හිදී. එන්නතේ සාර්ථකත්වය ගැන 80%ක පමණ බලාපොරොත්තුවක් ඇතැයි, එය තැනූ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ප්‍රකාශ කරයි.

    ප්‍රථම යටයේ අත්හදා බැලීම් සඳහා ස්වෙච්ජාවෙන් 800කට අධික පිරිසක් ඉක්රිපත්ව සිටී. එයින් 400කට සෘජුවම නව එන්නත ලබාදේ. පාලක පරීක්‍ෂණයක් ලෙස ඉතුරු 400 දෙනාට මෙනින්ජයිටිස් රෝගය සඳහා වන එන්නත ලබාදීමට නියමිතයි. දෙවැනි වටයේ පරීක්‍ෂණ සඳහා 5,000කට අධික පිරිසක් ස්වේච්ජාවෙන් ඉදිරිපත් වේ. නව පරීක්‍ෂණ සඳහා බ්‍රිතාන්‍ය රජය ප්‍රමුඛත්වයක් ලබා දී තිබේ. ඔක්ස්ෆර්ඩ් වයාපෘතියට රජයෙන් ලබාදෙන මුදල පවුම් මිලියන 25ක්. නව එන්නත Chadox-1 ncov-19 ලෙස හඳුන්වනු ලබයි.

    මේ අතර, ජර්මනිය, ඉතාලිය හා බෙල්ජියම එක්ව වෙනත් එන්නතක් සකස් කරමින් සිටී. ඔවුන් අපේක්‍ෂා කරන්නේ, තවත් දෙමසකින් පමණ මිනිසුන් යොදා ගනිමින් එය පරීක්‍ෂාවට ලක් කළ හැකි බවයි. යුරෝපය තුළ ක්‍රියාත්මක තවත් වැක්සීන ව්‍යාපෘතියක් සඳහා බ්‍රිතාන්‍ය යේ ග්ලැක්සෝ සමාගම සහ ප්‍රංශයේ සැනොෆි සමාගම ගිවිසුම් ගතව සිටී.

    මේ ආකාරයෙන් දැනට ලොව පුරා විවිධ පාර්ශව විසින් අත්හදා බලනු ලබන ප්‍රතිශක්තිකරණ එන්නත් සංඛ්‍යාව සියය ඉක්මවන බව වාර්තාවේ. එමෙන්ම කොවිඩ් 19 රෝගීන්ට ලබාදීම සඳහා විවිධ ඖෂධ අත්හදා බැලීම ද තවදුරටත් සිදු කෙරේ. ඇතැම් ඖෂධ රෝගය පාලනය කරන අතර, තවත් ඖෂධ එහි බලපෑම අවම කිරීමට යොදා ගැනේ. ඒ ආකාරයෙන් විවිධ රටවලදී පරීක්‍ෂාවට ලක්වන ඖෂධ සංඛ්‍යාව 150කට අධික බව වාර්තාවේ.

    මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවට පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කරයි. ඒ කොවිඩ්-19 රෝගය සඳහා මේ දක්වා කිසිදු එන්නතක් හෝ ඖෂධයක් තිරසාර මට්ටමින් තහවුරු කර නැති බවයි. ඒ නිසා කිසිදු ඖෂධයක් අත්තනෝමතික ලෙස භාවිතය සඳහා පෙළඹීමෙන් වළකින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News