COVID-19 සීඝ්‍රයෙන් පැතිර යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

මාර් 24, 2020

    COVID-19 ලොව බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිර යන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

    මේ වනවිට COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව, තුන් ලක්‍ෂ අසූහත් දහසකට ආසන්නයි. මියගිය සංඛ්‍යාව 17ත් දහසකට ආසන්න වී තිබේ.

    ලොව රටවල් සහ පාලන ප්‍රදේශ 196කින් COVID-19 රෝගීන් වාර්තා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ‍ජෙනරාල් ටෙඩ්‍රස් ඇඩනම් කියා සිටින්නේ, මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මණින් ක්‍රියාත්මක විය යුතු බවයි. පළමු රෝගීන් ලක්‍ෂය වාර්තා වීම සඳහා දින 67ක කාලයක් ගත වී තිබේ. දෙවැනි රෝගීන් ලක්‍ෂය වාර්තා වීම සඳහා ගතවී ඇත්තේ, දින 11ක් පමණි. එහෙත්, තුන්වැනි රෝගීන් ලක්‍ෂය දින 04ක් තුළ වාර්තා වී ඇති අතර, මෙය ඉතා බරපතල තත්වයක් ලෙසයි සැලකෙන්නේ. රෝගය වැළැක්වීම සඳහා හැකි තරම් පුද්ගලයින් දුරස්ථව ආශ්‍රය කරන ලෙස ඔහු ඉල්ලා සිටී. වෛරසය පරාජය කිරීම සඳහා ඉක්මන් සහ සැලසුම් සහගත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසයි.

    මේ අතර ලෝකයේ සියලු සටන් නවතා දමා ගෝලීය සටන් විරාමයකට අදාළ පාර්ශව පැමිණිය යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කියා සිටී.
    ඊයේ දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඉල්ලා සිටියේ ලොව සටන් වැඳ සිටින සියලුම කණ්ඩායම් අවි බිම තබා COVID-19ට එරෙහිව සටන් වැදීමට එක්වන ලෙසයි.


    ලොව මනුෂ්‍ය වර්ගයාගේ පොදු සතුරා බවට මෙම වෛරසය මේ වනවිට පත්වී ඇති බව, ගුටරෙස් මහතා අවධානය කරයි. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ඉතාලියෙන් වන අතර, එම සංඛ්‍යාව අද වනවිට හය දහස ඉක්මවා තිබේ. ඊයේ දිනයේ පමණක් මරණ 602ක් ඉතාලියෙන් වාර්තා විය. මෙම අගය පසුගිය දිනවලට සාපේක්‍ෂව යම් අඩුවීමක් දක්නට ලැබුණ ද ඉතාලිය තවමත් දරුණු අවදානම් තත්වයක පසුවේ. රෝගය මැඩපැවැත්වීම සඳහා එරට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග යම් කිසි මට්ටමකට ඵලදායි වී ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් තවමත් වාර්තා වන්නේ චීනයෙන්. නමුත් චීනයෙන් නව රෝගීන් වාර්තා වීම මේ වනවිට ඉතා අවම වී තිබේ. අද වනවිට මරණ සංඛ්‍යාව අතින් ලෝකයේ දෙවන තැන ගෙන ඇත්තේ චීනයයි. ස්පාඤ්ඤයෙන් ද මුළු මරණ සංඛ්‍යාව 2318ක් වාර්තා වී තිබේ. ලොව තෙවනුවට වැඩිම මරණ වාර්තා වන රටක් බවට පත්ව ඇත්තේ ස්පාඤ්ඤයයි. එරට වැඩිහිටි නිවාසයක අත්හැර ගොස් සිටි “කොරෝනා වෛරස්“ රෝගීන් රැසක් සොයා ගැණින. ඇතැමුන්, ඔවුන් සිටි ඇඳන් මතම මියගොස් සිටි බව වාර්තා වේ. ඉරානයෙන් මේ වනවිට රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබේ.
    ඉරානයේ අද වනවිට රෝගීන් 24,000කට වැඩි පිරිසක් වාර්තාවී තිබේ. ප්‍රංශය අද දින සිට එරට නිරෝධායන නීති ඉහළ නැංවීමට තීරණය කර තිබේ. අද සිට එරට එළිමහනේ කරන ශාරීරික ක්‍රියාකාරකම් සහ එළිමහන් වෙළෙඳ සැල් ද සීමා කිරීමටයි එරට රජය තීරණය කර ඇත්තේ.
    අමෙරිකාවේ මේ වනවිට රෝගීන් 40000ක් ඉක්මවා මරණ සංඛ්‍යාව 582ක් දක්වා ඉහළ ගොස් තිබේ. රෝගීන් සඳහා වෙන්ව ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රෝහල් පහසුකම් සහිත නෞකා දෙකක් ඊයේ සිට සේවයට යොදවා තිබේ. මෙම එක් නෞකාවක කාර්ය මණ්ඩලය 900ක් බැගින් සේවය කරන බව බලධාරීන් පවසයි.
    COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා බ්‍රසීලය නව රෝහලක් ඉදිකිරීම ආරම්භ කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ක්‍රීඩා පිටියක් තුළ රෝහල ඉදිකිරීමයි. ඉදිකිරීම් කටයුතු හැකි ඉක්මණින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව බලධාරීන් පවසයි.

    Latest News