නවසීලන්තයේ ගබ්සාව ගැන තීන්දුවේ වෙනසක්

මාර් 19, 2020

    නවසීලන්ත පාර්ලිමේන්තුව විසින් ගබ්සාව අපරාධයක් ලෙස සැලකීම ඉවත් කිරීමේ පනතක් සම්මත කරගෙන තිබේ.

    මේ අනූව ගර්භනීභාවයෙන් සති 20ක් ඇතුළත ඒ පිළිබඳව තීරණය කිරීමේ අවස්ථාව කාන්තාවට ලබා දීමටයි, තීරණය කර ඇත්තේ. වර්ෂ 1977 සිට ගබ්සාව අපරාධ වරදක් ලෙස නවසීලන්තයේ සැලකෙයි. මින් පෙර ගබ්සාව සඳහා වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අනුමැතිය අවශ්‍ය වූ අතර එවැනි පියවරකට යා හැක්කේ ගර්භනී කාන්තාවගේ සෞඛ්‍යයට බරපතල අනතුරක් සිදුවේයැයි, සැලකෙන අවස්ථාවක දී පමණයි. පාර්ලිමේන්තුව තුළ ඒ සම්බන්ධ පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ දී ඡන්ද 68 ට 51 ක් ලෙස එය සම්මත වී තිබේ.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට සැලසුම්කර තිබුණත් එවැන්නක් සිදු නොවීය. මේ සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් සිය විරුද්ධත්වය ද ප්‍රකාශ කර තිබේ. හෘද සාක්ෂිය මත පදනම් වූ සංවේදී කරුණක් ලෙස සලකමින් පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු නියෝජිතයින් සිය පක්ෂ ප්‍රතිපත්තීන් පිළිබඳව නොසිතා ඊට මනාපය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 10:02

    Latest News