පැය 24ට ඉතාලියෙන් මරණ 368ක්..ලොවපුරා මරණ 6,500 ඉක්මවයි

මාර් 16, 2020

    "කොවිඩ් 19" නොහොත් කොරෝනා වෛරසයෙන් යුරෝපයේ දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඉකුත් පැය 24 තුළ වාර්තා වෙයි.

    ඒ අනූව ඉතාලියේ 368 දෙනෙකු මියගොස් ඇත්තේ සමස්ථ සංඛ්‍යාව 1,809ක් බවට පත් කරමින්. මීට අමතරව ස්පාඤ්ඤය සහ ප්‍රංශයේ ද මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

    ඉකුත් පැය 24 තුල් ස්පාඤ්ඤයේ මරණ 97ක් වාර්තා වී ඇති අතර සමස්ථ සංඛ්‍යාව 288ක්. ප්‍රංශයේ ද සමස්ථ මරණ සංඛ්‍යාව 120ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ නව මරණ 29ක් සිදුවීමත් සමගයි. මෙම තත්වය උද්ගතවීමත් සමග යුරෝපා රටවල බලධාරීන් තීරණය කර ඇත්තේ තවදුරටත් වෛරසය මැඩපැවැත්වීමේ නීති හා දේශසීමා ආරක්ෂක විධිවිධාන තර කිරීමටයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර ඇත්තේ චීනයේ වූහාන් නගරයෙන් ඇරඹි වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට දැන් යුරෝපය පත්ව ඇති බවයි.

    කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා මියගිය සංඛ්‍යාව 6,500 ඉක්මවන අතර ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ හැටනව දහසකට අධිකයි. රටවල් 150කට අධික සංඛ්‍යාවක ව්‍යාප්තව ඇති වෛරසයෙන් සුවය ලැබූ පිරිස ද හැත්තෑ හත් දහස ඉක්මවීම ද විශේෂත්වයක්.

    Last modified on සදුදා, 16 මාර්තු 2020 07:43

    Latest News