කඳුළු පිරි දෙනෙතින් තමීම් ක්‍රිකට් දිවියට සමුදෙයි

ජූලි 06, 2023

    බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව, අද නිවේදනය කළා.

    ඒ, ඇෆ්ගනිස්තානය සමග ඊයේ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් බංග්ලාශදේශය ලැබූ පරාජයත් සමගයි. බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය ඊයේ පැවැත්වුණේ, චිතගොන් හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 43 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 169 ක් රැස් කළා.

    වර්ෂාවෙන් විටින් විට බාධා එල්ල වීම හේතුවෙන්, තරගයේ ජය පරාජය තීරණය කෙරුණේ, ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුවයි. ඇෆ්ගනිස්තාන ඉනිමේ පන්දුවාර 21 යි පන්දු 4 ක් අවසන්ව තිබියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ වන විට ඔවුන් කඩුලු 2 ක් දැවී ලකුණු 83 ක් රැස් කර ගෙන සිටියා. තරගයෙන් ඇෆ්ගනිස්තානය, ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව තරගය ජය ගත්තේ, ලකුණු 17 කින්.

    එම පරාජයත් සමග නායක තමීම් ඉක්බාල් අද මාධ්‍ය හමුවක් කැඳවමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව, නිල වශයෙන් නිවේදනය කළා. 2007 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි තමීම් ඉක්බාල් එක්දින ක්‍රිකට් තරග 241 කට ක්‍රීඩා කර තිබෙනවා. ඔහු රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 8,313 ක්. ශතක 14 ක් සහ අර්ධ ශතක 56 ක් ඊට ඇතුළත්. 20-20 ජාත්‍යන්තර තරග 78 ක් සහ ටෙස්ට් ක්‍රිකට් තරග 70 කදී තමීම් ඉක්බාල් බංග්ලාදේශය නියෝජනය කර තිබෙනවා.

    Latest News