වේරහැර RMV එකේ ගේමක් හෙළි වෙයි

දෙසැ 27, 2019

    වේරහැර මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තු කාර්යාලයේ සේවය කරන ඇතැම් නිලධාරින් හා තැරුව්කරුවන් පිරිසක් විසින් සිදු කරන නීතිවිරෝධි කටයුත්තක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.

    ඒ පිළිබඳ ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (26) ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරීන් දැනුවත් කළේය.

    මෙම කාර්යාලයේ ප්‍රවාහන වෛද්‍ය අංශයේ සේවකයින් කිහිප දෙනෙක් හා තැරැව්කරුවන් කිහිප දෙනෙක් සම්බන්ධවෙමින් සිදු කරන නිතිවිරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් එහි සේවාවන් ලබා ගැනීමට පැමිණි මහජනතාව තමන් වෙත පැමිණළි කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණවලට පෙනී සිටින පුද්ගලයින් රුධිරගත සීනි මට්ටම පිළිබඳව මෙන්ම දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේද යන්න වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු විය යුතුය.

    එහෙත් එම පරීක්ෂණයට පෙනී සිටින ඇතැම් පුද්ගලයින් දියවැඩියාව හා රුධිරගත සීනි මට්ටම අවම වුවද, වාර්තාව ලබා දෙමින් එහි සේවකයින් පවසන්නේ පරීක්ෂණය අසමත්වූ බවත්, සීනි නැතිබවට හෝ දියවැඩියාව නොමැති බවට වාර්තාව ලබා දීමට නම් රු. 2000- 4000 දක්වා මුදලක් ලබා දෙන ලෙසයි.

    එමෙන්ම දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුට වුවද, වෛද්‍ය වාර්තාව දියවැඩියාව නොමැති බවට සනාථ කර ලබා ගැනීමද ඉහත කී ආකාරයට ම මුදල් දී ලබාගත හැකිය.

    එසේ තමන් රවටා මුදල් ලබා ගත් බව කියමින් මහජනතාව විසින් තමන්ට පැමිණිළි කර ඇතැයි කී අමාත්‍යවරවරයා මෙවැනි කූඨ ජාවාරම් කරන නිලධාරින් හා සේවකයින්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවත්, ප්‍රවාහණ අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වන වැටලීම් අංශයේ පවතින දුර්වලතා හා අඩුපාඩු නිසා හදිසි වැටලීම් සිදු කිරීම් පසුගිය කාලය තුළ අඩපණ ව ඇති බවත් පැවසීය.

    කෙසේ වුවද, ප්‍රවාහණ අංශයේ විමර්ශණ අංශයක් පැවිතිය ද එය පසුගිය කාලය තුළ අකර්මණ්‍ය කර ඇත. එම නිසා එම අංශය ශක්තිමත් කිරීම සඳහා වැඩ පිලිවෙළ රැසක් තමන් යෝජනා කර ඇතැයිද, ප්‍රවාහන අංශයේ සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් ගන්නා සේවකයින් මෙන්ම, තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීමට උපාය දූතයින් යොදවා ඉදිරියේ දී පියවර ගන්නා බවත් පැවසීය.

    එක් ප්‍රවීන මාධ්‍යවේදියෙක් ද අමාත්‍යවරයාට දුරකථනයෙන් කතා කරමින් තමන්ගේ ඥාතියෙක් ගෙන් ද ඉහත අන්දමට වෛද්‍ය වාර්තාවක් ලබා දීම සඳහා එහි සේවකයෙක් විසින් අල්ලස් ගත් බවත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

    Latest News