රජය ජාත්‍යන්තරයට කිසිසේත් ගැති නැහැ - අමාත්‍ය නිමල් සිරිපාල

දෙසැ 22, 2019

    ජාත්‍යන්තරයේ සහාය ඉතා හොඳින් ලැබෙන නමුත් අපේ රජය ජාත්‍යන්තරයට කිසිසේත්ම ගැති නොවන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

    එක්සත් ජාතික පක්ෂ රජය ජාත්‍යන්තරයට යට වූ බවත් විජාතික බලවේග ඉදිරියේ දණ ගැසූ බවත් වත්මන් රජය හෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජාත්‍යන්තරය ඉදිරියේ හෝ රාජ්‍ය නොවන සංවිධාන ඉදිරියේ හෝ විදේශික බලවේගයන්ට හිස නමන්නේ නැතිබව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

    එහිදි තවදුරටත් අදහස් පල කළ අමාත්‍යවරයා...

    “අපි දිනුවා විතරක් නෙමෙයි මේ මැතිවරණ ජයත් සමගම රටත් දිනුවා. අගාධයට යන්න තිබුණු රට බේරා ගෙන අනාරක්ෂිතව තිබුණු රට ආරක්ෂිත රටක් බවට අද පත් වෙලා තියෙනවා. බුද්ධ ධම්ම විතරයි තියෙන්නේ කිවුවා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයම ආරක්ෂා වෙන රටක් බවට පත් කරන්න අවශ්‍ය වුණා. ඒක ජනතාව ඉටු කළා. දැන් බලන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පරාජයට පත් වුණා නම් මොකද වෙන්නේ කියලා. එතුමා ජනතාවටත් දේශපාලඥයින්ටත් ආදර්ශයක් වෙමින් රටේ පොදු දේපළ අපහරණය නොකර අවභාවිතා නොකර විශාල කාර්ය භාරයක් ඉටු කරනවා. දැන් මාර්තු 03 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. අප්‍රේල් අග වෙන විට මහ මැතිවරණය එනවා. දැන් ඔක්කොම හරි කියලා ඉන්න බැහැ. ඊටත් වඩා වැඩි වගකීමක් දැන් තියෙනවා. අමාරුවෙන් ආරක්ෂා කර ගත්ත රජය රැක ගන්න ඕන. අන්තවාදි කුඩා පක්ෂවල ග්‍රහණයට අපි හසු වෙන්නේ නැතිව අපි ආණ්ඩු කරන තනි දේශපාලන පක්ෂයක් වෙන්න ඕන. අපේ රටේ අනාගතය හොඳයි තිබුණු ගණ අදුරු වළාවන් පහ වෙලා ගිහිල්ලා ආලෝකය පතිත වෙන සමයක් උදා වෙලා තියෙනවා. මේ අතරම ඔබේ ආර්ථිකය ශක්තිමත් වෙන්නත් ඕන. මේ පළාත්වල අල ගොවින් ඉන්නවා. අපි ඔවුන් ශක්තිමත් කරන්න ඕන. ඒ නිසා ඉදිරියේදී අපි අල පිට රටින් ගෙන්වන එක නතර කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි මෙරට තුළ නිෂ්පාදනය කරන සියලු දේවල් පිට රටින් ගෙන්වන එක නතර කළ යුතුයි. ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනයට විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. දැනටමත් වසමකට ලක්ෂ 20 බැගින් ලැබිලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට ඉහළ තත්වයට ගේන්න කටයුතු කරමින් ඉන්නවා. ජාත්‍යන්තරයේ සහාය ඉතා හොදින් ලැබෙනවා. නමුත් අපි ජාත්‍යන්තරයට කිසිසේත්ම ගැති වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂ රජය ජාත්‍යන්තරයට යට වුණා. විජාතික බලවේග ඉදිරියේ දණ ගැහුවා. මේ රජය හෝ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාත්‍යන්තරය ඉදිරියේ හෝ රාජ්‍ය නොවන සංවිධාන ඉදිරියේ හෝ විදේශික බලවේගයන්ට හිස නමන්නේ නැහැ. ඒක අපේ රටට ගෞරවයක් බව කිව යුතුයි. ජනතාවට ගිය ඡන්දයේදි ඕන වු‍ණේ විජාතික බලවේගවලට අනුව කටයුතු කරන ආණ්ඩුව පරාජය කිරීමටයි. විජාතික බලවේලවල පදයට නටන රූකඩ ආණ්ඩුවක් හැදිම නෙවෙයි. ඒ නිසා දැන් තිබෙන ආණ්ඩුව විජාතික බලවේගවල පදයට නටන්නේ නැති රූකඩ බවට පත් වෙන්නේ නැතිව කෙලින් වැඩ කරන ආණ්ඩුවක් බව කිව යුතුයි. ඇත්ත ප්‍රකාශ කරමින් නිවැරදි දේ කරමින් ඉදිරියට යනවා. ඒ නිසා අපේ රටට විශාල අභිමානයක් ඇතිව තිබෙන බවත් අද වන විට ජාතික අභිමානය ඉහළින්ම ඔසවා තැබිමට රජය කටයුතු කර තිබෙනවා ” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    Last modified on ඉරිදා, 22 දෙසැම්බර් 2019 12:51

    Latest News