හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය ඉක්මණින් රජයට ගත යුතුයි: අයිතිය පවුලකට - රතන හිමි

දෙසැ 18, 2019

    මඩකලපුව විශ්වවිද්‍යාලය හැකි ඉක්මණින් රජයට පවරා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කරති.

    උන් වහන්සේ මේ බව කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිල්ලක් පිළිබඳ විමසීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මීට මාස කිහිපයටක පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර තිබුණේ, මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකර ඇති ඉඩම කූට ආකාරයෙන් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා රජයෙන් ලබාගෙන ඇති බවයි. අදාළ විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා විදෙස් රටකින් කෝටි ගණනක මුදල් හිස්බුල්ලා මහතා ලබාගෙන ඇති බවට ද චෝදනා ලබා තිබේ.

    ඒ පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ....

    “ඉඩම ලබාගත් අරමුණින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් නොමිලයේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා. හැබැයි ඊට පස්සේ ඉඩම ලබාගත්තේ බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් කියන කොම්පැණියකට. ඒ කොම්පැණියේ ඉන්නේ පවුලේ සාමාජිකයෝ පමණයි. එතන ප්‍රශ්නයක් තියෙනවා. කිසිම දේශපාලන මැදිහත්වීමක් නැතුව මේ නඩුව ගෙනියන්න ඕනේ. අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමා මධ්‍යස්ථව මේ නඩුව
    හසුරුවන්න ඉඩ දෙයි කියලා. ලෝකයේ මූලධර්මවාදය ව්‍යාප්ත කරන මධ්‍යස්ථානයක් බවට ලංකාව පත්කිරීමේ අභිලාෂයෙන් තමයි මේ විශ්වවිද්‍යාලය පටන් අරන් තියෙන්නේ. අපේ ලංකාව ඒ අන්තවාදයේ තෝතැන්නක් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ විශ්වවිද්‍යාලය රජයට ඉක්මණින්ම පවරා ගන්න කියන එක තමයි අපේ ඉල්ලීම යැයි“ රතන හිමියෝ පැවසූහ.

    Last modified on බදාදා, 18 දෙසැම්බර් 2019 18:43

    Latest News