අන්තවාදී දේශපාලඥයන්ගේ සහය ලබා ගැනීමට සිදුවන්නේනම් මම දේශපාලනයෙන් සමුගන්නවා..කෙහෙළිය

දෙසැ 15, 2019

    ඉදිරි මහ මැතිවරණයේදී බහුතර බලයක් ලබා ගැනීම සඳහා අන්තවාදී දේශපාලඥයන්ගේ සහය ලබා ගැනීමට සිදුවන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    තුනෙන් දෙකක බහුතර පාර්ලිමේන්තු බලයක් ඉදිරියේදී නිසැක වශයෙන්ම ලබා ගන්නා බවත් ඒ සඳහා අන්තවාදී නොවන සිංහල පාර්ශවයන්ගේ සහය හිමිවනු ඇතැයි ජනාධිපතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් කුණ්ඩසාලේ ආසනයේ ජනතාව කළ කැපකිරීමට කෘතවේදීත්වය පළ කිරීම නිමිත්තෙන් මැණික්හින්න නගරයේදී පැවැති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

    වැඩිදුරට අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා....... 

    "සිය ජයග්‍රහණයෙන් අනතුරුව අනුරාධපුර පැවැති උත්සවයේදී සිංහල ඡන්ද තමන්ට උපකාර වුණු බව කීමට තරම් නිහතමානී හා එඩිතර වුණු ජනාධිපතිවරයාට ඉදිරියේදීත් එම ජනතාවගේ සහයෝගය අවශ්‍ය යැයි කී අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය. පසුගිය ජනාධිපතිවරණය අතිශයින්ම තීරණාත්මක සහ වැදගත් ජයග්‍රහණයක් වුණා. කිසිදු අවස්ථාවක අන්තවාදියෙක් ඉදිරියේ දණ නොනැමූ ජයග්‍රහණයක් වශයෙන් එය හැඳින්විය හැකියි.

    වසර 72 ක දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සිංහල රාජ්‍යයක් නිර්මාණය කිරීමට අපට හැකියාව ලැබුණා. මැණික්හින්නේ දී කරන මෙම ප්‍රකාශය අකුරණ හෝ බේරුවල දී ප්‍රකාශ කිරීමට මම මැළි වන්නේ නැහැ. එක් තැනක එක කතාවකුත් වෙනත් තැනකට ගොස් තවත් කතාවකුත් කරන්න මම සූදානම් නැහැ.

    මෙම සිංහල-බෞද්ධ චරිතය තුළ අප විශ්වාස කරනවා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු ජාතීන්ට අවස්ථාව හිමිවන බව. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජයේ අධ්‍යාපන ඇමති වුනේ බදුර්දීන් මොහොමඩ් මහතා යි. නමුත් එදා ඊට කවුරුත් විරුද්ධ නොවුනේ සැබෑ සංහිඳියාව එදා ක්‍රියාත්මක වුණු නිසයි. අන්තවාදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට පොදි බැඳගෙන එදා ජීවත් වුණා.

    මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සිංහල මරික්කාර් කියා උප අමාත්‍යවරයෙක් හිටියා. හාරිස්පත්තුව නියෝජනය කරමින් හිමීඩ් අමාත්‍යවරයා හිටියා. කදිරගාමර් ඇමැතිතුමා මෙරට අගමැතිවරයා බවට පත් කිරීමට සුදුසු යැයි යෝජනා කළේ සිංහල බෞද්ධයන් වන අපි. දහම් පාසලින් අධ්‍යාපනය ලැබූ අපට සහජීවනය යන කරුණ පුවරුවකින් නොව හදවත තුල ස්ථාපනය වී තිබෙනවා. සියලු මිනිසුන් සමග එකට ජීවත් විය හැකි තත්ත්වයක් අප තුළ නිර්මාණය වී තිබෙනවා. නමුත් ඉතිහාසයේ පළමු වතාවට අන්තවාදයට ඉඩ නොදී ජයග්‍රහණය ලැබූ විශිෂ්ටතම අවස්ථාව මෙයයි. එය රැකගැනීමේ වගකීම ඔබ අප සියළු දෙනා තුලම තියෙනවා.

    අන්තවාදීන්ට මෙම ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙන්න බැරි උණා. නැත්නම් සෑම අවස්ථාවකම අන්තවාදීන් අපේක්ෂකයන් සමඟ එක්ව අවසානයේදී එම ජයග්‍රහණයේ කොටස්කරුවන් බවට පත්වෙනවා. ඔවුන් අපට අභියෝග කළේ පුළුවන්නම් අප නැතුව ජයග්‍රහණය කර පෙන්වන්න කියා. අපි දිනලා පෙන්නුවා. දැන් අපි එය රැකගත යුතුයි.

    කවුරුහරි මට ජාතිවාදියා යැයි කියනවා නම් මම ඊට කැමැතියි. මගේ රටට, මගේ ජාතියට, මගේ ආගමට ආදරේ කරන්නෙ නැති එකා කොහෙටවත් නැති එකෙක්. දෙපැත්තට වන ලා කථා කරන එකා කොහේටවත් නැති එකෙක්. ඡන්ද ටිකකට වහල් වෙලා කටයුතු කරන එක අප නවත්තල තියෙනව.

    අපිත් සමග දෙමළ, මුස්ලිම් සහෝදරයන් ඉතාමත්ම හොඳින් ජීවත් වෙනවා." නමුත් ඊට එහා ගොස් මස් රාත්තලම ඉල්ලීමට හෝ ඡන්ද කොටසක් පෙන්නුවා ඒ වෙනුවට මේ බල ප්‍රදේශය හෝ පරිපාලන ප්‍රදේශය අපට දෙන්න යයි ඉල්ලුවොත් ඊට තවදුරටත් ඉඩ නැතැයි රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Last modified on ඉරිදා, 15 දෙසැම්බර් 2019 15:27

    Latest News