හම්බන්තොට නිවාස ව්‍යාපෘති ගැන විශේෂ සාකච්ඡාවක්

දෙසැ 15, 2019

    පසුගිය රජය සමයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ නිවාස වැඩපිළිවෙල සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ පවතින ගැටළු රැසක් පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.

    හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති නාමල් රාජපක්ෂ මහතා සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතාද සහභාගී විය.

    පසුගිය රජය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නිවාස ගම්මාන 337 ක ඉදිකිරීම් ආරම්භ කර තිබේ. ඉන් නිවාස ගම්මාන 84 ක් ජනතා අයිතියට පත් කර ඇති අතර ඉතිරි ගම්මාන 253 වැඩ අවසන් කර නොමැත. 2015 වසරේදී ගම්මාන 12 ක ඉදිකිරීම් ආරම්භකර ජනතා අයිතියට පත්කර ඇත. 2016 වසරේදී ගම්මාන 77 ක ඉදිකිරීම් ආරම්භ කර ඉන් 49 වැඩ අවසන් කර ඇති නමුත් 28 වැඩ අවසන් කර නොමැත. 2017 වසරේ ගම්මාන 50 ක් ආරම්භ කර ඇති අතර වැඩ අවසන් කර ඇත්තේ ගම්මාන 8 ක් පමණි. 42 ක වැඩ අවසන් කර නොමැත. 2018 වසරේදී ආරම්භ කර ඇති ගම්මාන 104 න් වැඩ අවසන් කර ඇත්තේ ගම්මාන 15 ක් පමණි. ගම්මාන 89 ක වැඩ අවසන් කර නොමැත.

    2019 වසරේදී අලුතින් ගම්මාන 94 ක වැඩ ආරම්භ කර ඇත. මෙම වැඩ අවසන් නොකළ ගම්මානවල වැඩ අවසන් කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන අවශ්‍ය බවට නිලධාරීන් කරුණු ඉදිරිපත් කළේය. මෙලෙස වසරින් වසර ආරම්භ කළ ගම්මානවල වැඩ අවසන් නොකර, අලුතින් තවත් ගම්මාන ඉදිකිරීමට පියවර ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

    පසුගිය රජය විසින් ග්‍රාම ශක්ති නිලධාරීන් 680 දෙනෙක් බඳවා ගෙන ඇති අතර එම නිලධාරීන්ට වැටුප් ගෙවන ආකාරය,ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව කිසිදු තොරතුරු සටහනක් නොමැත. දේශපාලන අවශ්‍යතා මත ග්‍රාමශක්ති නිලධාරීන් හරහා රුපියල් 20,000/= බැගින් ණය මුදල් ලබා දී ඇති අතර ඒ පිළිබ‍ඳවද කිසිඳු තොරුතුරක් හෝ එම ණය නැවත අයකරගන්නා ආකාරය පිළිබඳව තොරතුරු නොමැත.

    එමගින් රජයේ මුදල් විශාල වශයෙන් අවභාවිතා වී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. නිවාස ගම්මාන ඉදිකිරීම සඳහා නිසි අවසරයකින් තොරව වන සංරක්ෂණ ප්‍රදේශ හෙළි කිරීම හා අලිමංකඩවල සහ වැව් රක්ෂිත ඉඩම් යොදාගෙන අවිධිමත් ලෙස නිවාස ගම්මාන ඉදිකර ඇති බවත්, ඒ සඳහා අදාළ ආයතනවලින් නිසි පරිදී අනුමැතිය ලබාගෙන නොමැති බවත් මෙහිදී කරුණු අනාවරණය විය. අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් එම චෝදනා පිළිගත්තේය.

    තවද නිවාස හිමිකම්ලාභීන්ගේ ඉඩම් අයිතිය නිසි ලෙස ජනතාවට ලබා දී නොමැති බවත්, ප්‍රතිලාභීන් සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිවාස ණය ලබා දී නිවාස අඩක් ඉදිකරගෙන යන අතරතුර එම ණයලාභීන්ගෙන් නිවාස ලබාගෙන වෙනත් පාර්ශව වෙත ලබා දීම වැනි චෝදනා පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණ.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා වසරකට රුපියල් මිලියන 480 ක් පමණ වැයවන බවත්, නිවාස ඉදිකිරීම සඳහා වැය කර තිබෙන්නේ රුපියල් මිලියන 350 ක් පමණක් බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඉදිරිපත් කරන ලද වාර්තාවලින් අනාවරණය විය.

    Last modified on ඉරිදා, 15 දෙසැම්බර් 2019 11:32

    Latest News