අලි මිනිස් ගැටුමට විසදුම් ඉල්ලා බකමූණේ විරෝධතාවයක්

දෙසැ 03, 2019

    අලි මිනිස් ගැටුමට විසදුම් ඉල්ලා විරෝධතාවයක් දඹුල්ල-මහියංගනය ප්‍රධාන මාර්ගයේ බකමූණ කුමාර ඇල්ල ප්‍රදේශයෙදී අද(03) පවත්වා ඇත.

    බකමූණ, ඇලහැර, කුමාරඇල්ල, බුදුරුවයාය, ගල්මුල්ල, ආදී ප්‍රදේශවල පදිංචි ජනතාව දඹුල්ල-මහියංගනය ප්‍රධාන මාර්ගය හරස්කොට මෙසේ විරෝධතාවයක නිරත වී තිබේ. වසර තිහකට පසුව තම ගම්බිම්වලට වන අලින් කඩාවැදී මිනිස් ජීවිත, දේපල හා වගාබිම් විනාශ කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු නොවීම මෙම විරෝධතාවයට හේතුව බව ඔවුහු පවසති.

    විරෝධතා බැනර්, පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනයට බාධා කරමින් මෙම විරෝධතාවය පැවැත්විණ. බකමූණ කුමාර ඇල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු වූ මීට දින කිහිපයකට ඉහත දී වන අලි ප්‍රහාරයකින් මිය ගිය බවත් මේ දිනවල දිනපතාම වන අලියෙකු ගම්මානයට කඩා වැදි නිවාසවලට පහර දෙන බවත් පුද්ගලයන්ට නිරන්තරයෙන් පන්න පන්නා පහර දෙන බව ද ඔහු චෝදනා කරති.

    බකමූණ පොලීසියේ නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ ද උදේ 9ට ආරම්භ කළ විරෝධතාවය අඛණ්ඩව පැවැත්වීම හේතුවෙන් පොලීසියප්‍රදේශයේ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරියකු කැඳවා මෙම වන අලියා අල්ලා වෙනත් ප්‍රදේශයකට රැගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා බවට සඳහන් කර තිබේ.

    එය සිදුකිරීමට අපොස සාපෙළ විභාග අවසන් වනතුරු ඔවුන් කාලය ලබාදෙන ඉල්ලා ඇති අතර එතෙක් ප්‍රදේශවාසීන් සහ වනජීවී නිලධාරීන් එක්ව වන අලියා රාත්‍රියේ ගම්වැදීම වැළැක්වීමට පියවර ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව විරෝධතාව පස්වරු 1:30ට පමණ අවසන් කර තිබේ.

    Latest News