මහබැංකුවේ බැඳුම්කර සිදුවිම ගැන කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් අද

දෙසැ 03, 2019

    මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදුකරන ලද වෝහාරික විගණනයේ අවසාන වාර්තාව පිළිබඳව ඉදිරියට ගැනීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් අද (03) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

    මෙම රැස්වීමට පැමිණෙන ලෙස කෝප් කමිටුවේ සියලු සාමාජිකයන්ට දැනුම් දුන් බවද සුනිල් හඳුන්නෙත්ති මහතා තවදුරටත් පැවසීය. මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් මහබැංකුව වෙත මෙම වෝහාරික විගණනය සිදු කිරීම සඳහා නිර්දේශ ලබා දෙන ලදී.

    මෙම නිර්දේශය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව විසින් කොප් කමිටුව දැනුවත් කළ අතර පසුගිය මාර්තු 22 රැස්වූ කෝප් කමිටුව මහබැංකුව වෙත නිර්දේශ කරන ලද්දේ ජනාධිපති කොමිෂන් සභාව විසින් නිර්දේශිත වෝහාරික විගණනය සිදුකරන ආකාරය පිළිබඳ පූර්ණ වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි.

    මහබැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ හත්වන පාර්ලිමේන්තු කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි වූ අතර එය අටවන පාර්ලිමේන්තුවේදී නැවත සලකා බැලීමට පසුව කමිටුව විසින් තීරණය කරන ලදී.

    Last modified on අඟහරුවාදා, 03 දෙසැම්බර් 2019 09:19

    Latest News