පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවිය යුතුයි..ජනපති

දෙසැ 03, 2019

    පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජිකයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡා කර තිබේ.

    ඊයේ (02) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දි මෙම සාකච්ඡා පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජානක ද සිල්වා මහතා ඇතුළු එහි සෙසු සාමාජිකයින් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි අතර සභාපතිවරයා විසින් මෙහිදි මෙතෙක් සිදුකළ විමර්ශන පිළිබදව කරුණු ඉදිරිපත් කර තිබේ.

    සභාපතිවරයා මෙහිදි පෙන්වාදුන්නේ ප්‍රහාරයක් සිදුවන බවට කල් තබා ලැබුණු තොරතුරු, අදාළ බලධාරීන් විසින් බරපතළ ලෙස සැලකිල්ලට ගෙන නොමැති බවයි.මේ පිළිබදව තොරතුරු වසන් කිරීම සඳහා ඇතැම් නිලධාරින් ව්‍යාජ ලෙඛන සකස් කර ඇති බවට සැකයක් මතුවන බව ද විනිසුරුවරයා පෙන්වා දී තිබේ.මෙහිදි අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා ප්‍රහාරයේ සුලමුල නිවැරදිව හඳුනාගෙන වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණ විය යුතු බව අවධාරණය කර ඇති බව සඳහන් වෙයි.

    තමා ආරක්ෂක ලේකම්ධුරය දරන සමයේ ආරක්ෂක මණ්ඩලය නිරන්තරයෙන් රැස්වූ බව පෙන්වාදුන් ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු ලැබුණු සැණින් ඒ පිළිබඳව නොපමාව අවශ්‍ය පියවර ගත් බව සඳහන් කර තිබේ.

    පසුගිය පාලන සමයේදි ජාතික ආරක්ෂව පිළිබඳ ලිහිල් ආකල්පයකින් ක්‍රියා කිරීම හේතුවෙන් බුද්ධි අංශ යාන්ත්‍රණය බිඳ වැටුණු බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාමීය අන්තවාදය ප්‍රචළිත කිරීම නතර කිරීමට නොහැකි වු බව ද සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

     

     

    Last modified on අඟහරුවාදා, 03 දෙසැම්බර් 2019 09:59

    Latest News