සාමකාමී, ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිය තහවුරු කරන බව, ජනපති යළි අවධාරණය කරයි...

ජූලි 24, 2022

    සාමකාමීව, ප්‍රචණ්ඩත්වයෙන් ‍තොරව රැස්වීමේ අයිතිය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි තහවුරු කරනවා.

    රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමග ඉකුත් සිකුරාදා කොළඹ පැවැති හමුවේදී ජනාධිපතිවරයා මෙම ස්ථාවරය ප්‍රකාශ කළා. මේ හමුව කැඳවා තිබුණේ, නීති විරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි වි‍රෝධතාකරුවන් ඉවත් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීම සඳහායි. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 21 වැනි වගන්තිය හා සාමකාමීව රැස්වීමේ අයිතිවාසිකම පාලනය කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ආ) වගන්තිය යන දෙකම වත්මන් රජය විසින් තහවුරු කරන බව, ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කළා.

    රජයේ ගොඩනැගිලි අවහිර කිරීමට සහ දේපළ වෙනත් අරමුණු සඳහා භාවිත කිරීමට විරෝධතාකරුවන්ට අවසර ලබා නොදිය යුතු බවට අමරිකානු සිවිල් නිදහස් සංගමය ලබාදුන් උපදෙස්වල සඳහන් බවද ජනාධිපතිවරයා සිහිපත් කළා. දේපළවලට හෝ ජීවිතවලට හානියක් නොවන පරිදි නගරය තුළ අවිහිංසාවාදී විරෝධතාවලට ඉඩ සැලසීම සහතික කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කරනු ලැබුවා.

    විහාරමහාදේවී උද්‍යානයේ එළමහන් රංග පීඨ‍ය, නව නගර ශාලාව, හයිඩ්පාක් සහ කැම්බල් පිටිය වැනි කොළඹ බල ප්‍රදේශයේ පිහිටි පහසුකම් සියල්ල ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතා සඳහා ලබාදී තිබෙනවා. “‍ගෝඨා ගෝ ගම” විරෝධතා භූමිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වූ කරුණු අසත්‍ය බවත්, එය ආරක්ෂක අංශ විසින් ඉවත් කර නොමැති බවත්, මෙහිදී පැහැදිළි කෙරුණා. පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සියලු දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම ඇතුළුව අනුගමනය කරන නෛතික ක්‍රියාමාර්ග පිළිබඳව ද නීතිපතිවරයා විසින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කරනු ලැබුවා.

    Latest News