දියවැඩියා රෝගීන්ගෙන් 36%ක් අන්ධ භාවයට

දෙසැ 02, 2019

    දියවැඩියා රෝගීන්ගෙන් බහුතරයක් “ඩයබෙටික් රෙටිනෝපති“ නම් අක්‍ෂි ආබාධය හේතුවෙන් අන්ධභාවයට පත්වන බව, ජාතික අක්‍ෂි රෝහල පවසයි.

    දියවැඩියා රෝගීන්ගෙන් 36%ක් ඊට ගොදුරු වී තිබේ. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරිණ.මුල් අවධියේ කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වුව ද, දෘෂ්ඨිවිතානයට හානි සිදුවීම අන්ධභාවයට මූලික හේතුවයි. එහි රුධිර නාලිකා බිඳී ගොස් ඇස තුළට ලේ ගැලීමත්, දෘෂ්ඨිවිතානය ගැලවීයාමත් අවසානයේ එකවර ඇස් නොපෙනීයාමත් සිදුවිය හැකියි. බොඳවීම, කුඩා කැබලි පාවෙන ආකාරයක් දර්ශනය වීම මෙහි මූලික රෝග ලක්‍ෂණයි. රුධිර සීනි මට්ටම පාලනය නොකිරීම, අධි රුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල් හා වකුගඩු රෝගය මෙන්ම දුම්බීම ඊට බලපාන ප්‍රධාන හේතු අතර වේ. ඩයබෙටික් රෙටිනෝපති වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. එය දියවැඩියා රෝගීන්ගෙන් 18%ක්.

    එහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය මධුවන්ති දිසානායක මහත්මිය...

    “දියවැඩියා රෝගීන්ගෙන් 30%කට පමණ මෙම රෝගය තියෙන්න පුලුවන්. ඒ අයගෙනුත් 6% සිට 13% දක්වා මේ රෝගය නිසා අන්ධ භාවය කෙළින්ම ඇතිවෙන්න පුලුවන්. හුඟක් අය කියනවා දියවැඩියා රෝගය තිබුණට මට ඇසේ කිසිම රෝගයක් දැනෙන්නේ නැහැ. කිසිම ඇසේ අපහසුවක් දැනෙන්නේ නැහැ. ඒක නිසා ගොඩක් දෙනෙක් මේ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන ඉන්නවා. නමුත් ඇසේ ඇතුළත පරීක්‍ෂා කර බැලීමෙන්ම පමණයි මේ රෝගී තත්වය තියෙනවාද කියලා හඳුනගන්න පුලුවන්“ යැයි විශේෂඥ වෛද්‍ය මධුවන්ති දිසානායක මහත්මිය පැවසුවාය.

    සෑම දියවැඩියා රෝගියෙකුටම ඕනෑම රජයේ රෝහලකින් මේ තත්වය පරීක්‍ෂා කරගත හැකියි. මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර කිරීමෙන් අන්ධභාවයට පත්වීම වළක්වා ගතහැකි බව වෛද්‍ය උපදේශයයි. ජාතික අක්‍ෂි රෝහල, විෂන් 2020 වැඩසටහන, ශ්‍රී ලංකා අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව මේ සඳහා ප්‍රතිකාර සිදු කරයි.

    Latest News