රු. බිලියන 90ක් පාඩු කළ LNG ව්‍යපෘතිය ගැන අමරවීර වාර්තාවක් ඉල්ලයි...

දෙසැ 02, 2019

    එල්.එන්.ජී. ස්වභාවික ද්‍රව වායු විදුලි නිෂ්පාදන ව්‍යාපෘතිය සම්බන්ධව වාර්තාවක් ලබාදෙන්නැයි මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    පසුගිය රජය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ එල්.එන්.ජී. (ස්වභාවික ද්‍රව වායු) ව්‍යාපෘතිය පිළිබදව සාකච්ඡාවක් අද (02) පෙරවරුවේ ඛනිජතෙල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මෙම සාකච්ඡාව මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    රජයේ අයිතිය සහිත සමාගමකට එම කොන්ත්‍රාත්තුව බාර නොදී, චීන සමාගමකට කොන්ත්‍රාත්තුව ලබාදීම මගින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 90 කට අධික මුදලක් අහිමිවී ඇතැයි අනාවරණය විය. මෙම එල්. එන්. ජී. ටෙන්ඩරය සදහා දේශීය සමාගමක් විසින් වැඩිම පිරිවිතරයන් ඉදිරිපත් කර තිබියදීත්, විදුලිබල අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ අවශ්‍යතාවන් අනුව එම ටෙන්ඩරය අඩු මුදලක් සහිත පිරිවිතරයන් ඉදිරිපත් කර තිබූ චීන සමාගමකට ලබාදීමට අනුමැතිය ලබාදී තිබේ.

    අද දින පැවති සාකච්ඡාවට අදාළ දේශීය සමාගමේ නියෝජිතයන් මෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ද සහභාගී වී සිටියහ. මෙම ගනුදෙනුව සම්බන්ධව සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙසත්, ඊට අදාල සාකච්ඡා බ්‍රහස්පතින්දා (05) පැවැත්වීමටත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදි තිරණය කළේය.

    Latest News