ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිණිය පැහැර ගැනිමේ කථාව ජනපති සහ රජය අපහසුතාවට පත් කිරීමක්; මාගල්කන්දේ සුදත්ත හිමි

නොවැ 30, 2019

    ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියක් පැහැර ගත්තේ යැයි කියන සිද්ධිය ජනාධිපතිතුමා සහ රජය අපහසුතාවට පත් කිරීම සඳහා නිර්මාණය කළ එකක් බව, මාගල්කන්දේ සුදත්ත හිමියෝ පැවසූහ.

    මේ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ආරක්‍ෂක අංශ වෙත මෙතෙක් යොමු වී නැති බව ද, උන් වහන්සේ පැවසූහ..

    එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි....

    “මේ උත්සාහ කරන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්මා ජනාධිපති ලෙස පත්වුණාට පස්සේ නැවතත් සුදු වෑන් සංස්කෘතිය ක්‍රියාත්මකයි කියන අභූත චෝදනාවෙන් ජනාධිපතිතුමාවත්, රජයත් අපහසුතාවට පත්කරන්න උත්සාහ කරන්නේ. තානාපති කාර්යාලවලින් අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා මෙවැනි දේවල්වලට හසුවෙන්නට එපා. ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ගන්න තවත් පිරිසක් රාජ්‍ය නොවන සංවිධානවල බත්බැලයෝ ටිකක් උත්සාහ කරමින් ඉන්නවා. ඒකට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරන්නයි, මේ සුදුවෑන් කතාව ඇඳලා ගත්තේ නැවත වතාවක්“ යැයි පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පැවසූහ.

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පිළිබඳව උන්වහන්සේ කියා සිටියේ, ඔහුට අණ දුන් දේශපාලන අධිකාරිය ද රටට හෙළි කළ යුතු බවයි.

    “ශානි අබේසේකර මහත්මාට ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාගේ නම මේවාට ඈදාගන්න කියලා බලපෑම් කරපු නියෝජිතයෙකු , දේශපාලන හස්තය, දේශපාලන නායකත්වය පිළිබඳව අණාවරණය කරගන්න ඕනේ. ඒක පක්‍ෂද, විපක්‍ෂ ද කියලා ඕන වෙන්නේ නැහැ. ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ“ යැයි මාගල්කන්දේ සුදත්ත හිමියෝ පැවසූහ.

    Last modified on ඉරිදා, 01 දෙසැම්බර් 2019 08:41

    Latest News