වැසි නැතිව කුඹුරු විනාශය අත ළඟ

අගෝ 02, 2023

    උඩවලව ජලාශය ආශ්‍රිතව යළ කන්නයේ අස්වද්දන ලද කුඹුරු අක්කර හැටපන්දහසක් හානි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

    එම ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණය ඊට හේතුව බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ.

    සමනළවැව ජලාශයෙන්, උඩවලය ජලාශයට, ජලය ඝන මීටර මිලියන 27 බැගින් දින 10 ක් ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය උත්සහ දරා තිබෙනවා.

    එහෙත්, එය අසාර්ථකවූ බවයි එම අමාත්‍යාංශය පවසන්නේ. සමනළවැව ජලාශයේ ජල මට්ටම මේ වන විට ඝන මීටර මිලියන 87 ක් දක්වා අඩු වී තිබීම ඊට හේතුවයි.

    මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් 11 ක පවතින ජලයෙන් කොටසක් වේලිඔය අමුණ ඔස්සේ උඩවලව ජලාශයට ලබා ගැනීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

    ඒ අනුව දිනකට අක්කර අඩි 1200 ක ජල ප්‍රමාණයක් උඩවලව ජලාශයට ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා.

    එය ඉතා සුළු ජල ප්‍රමාණයක් වුවද, විනාශ වීමේ තර්ජනයට මුහුණපා ඇති කුඹුරුවලින් යම් කොටසක් හෝ බේරා ගැනීම එහි අරමුණ බවයි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසන්නේ.

    ජලය නොලැබුනහොත් වී වගාවෙන් රුපියල් බිලියන 17 ක පාඩුවක් සහ කෙසෙල් ඇතුළු අනෙකුත් භෝග හානියෙන් රුපියල් මිලියන තිස්දහස ඉක්මවූ පාඩුවක් සිදු වන බව ගණන් බලා තිබෙනවා.

    Latest News