“ජාතික ආරක්ෂාවට පසු ප්‍රමුඛතම අවධානය අධ්‍යාපනයට” - අධ්‍යාපන අමාත්‍ය ඩලස්

නොවැ 22, 2019

    ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ජාතික ආරක්ෂාව හැරුණු විට රට ගොඩනැගීමේ දී ප්‍රමුඛතම අවධානය යොමු කර ඇත්තේ අධ්‍යාපනයට බවත්, එයින් මේ රටේ විශාල පරිවර්තනයක් ඇති කළ හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (22) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී නිල වශයෙන් තම නව අමාත්‍ය ධුරයෙහි රාජකාරි භාරගැනීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

    අපේ රටේ තවමත් බොහෝ පාසල්, පන්ති කාමර පවතින්නේ 19 වැනි සියවසේ බවත්, ගුරුවරුන් සිටින්නේ 20 වැනි සියවසේ බවත් 21 වැනි සියවසේ සිටින දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ දී මතුව ඇති අර්බුදය එය බවත්, මේ තත්වය ගැඹුරින් අධ්‍යයනය කොට ඊට විසින් විසඳුම් සෙවිය යුතු බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා...

    “ගෝඨාභය ජනාධිපතිතුමා පාට කණ්ණාඩි දාගෙන ඔබ දිහා බලන්නෙ නෑ. ඔබේ දේශපාලන වර්ණය, ලබ්ධිය මතවාදය එතුමාට අදාළ නෑ. ඉතිහාසයේ දේශපාලන සංස්කෘතිය වුණේ කොළපාට අය එනවිට නිල්පාට අය ගෙදර යැවීම සහ නිල්පාට අය එනවිට කොළපාට අය ගෙදර යැවීමයි. විය යුත්තේ එය නොවෙයි. අපට ඕනෑ වැඩ කරන නිලධාරීන් සමඟ ඉදිරියට යාමටයි...”යයි ද සඳහන් කළේය.

    නව අමාත්‍යධුරයට තමා පත්වීම සම්බන්ධ ව පිළිගැනීමේ උත්සව ආදිය සංවිධානය කිරීමට කිසිවෙක් කිසිදු මුදලක් වැය නොකරන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා, ජනාධිපතිතුමාගේ හෝ අගමැතිතුමන්ගේ හෝ තමාගේ ඡායාරූපය සහිත පෝස්ටර්, බැනර් අමාත්‍යාංශයේ කිසිදු තැනෙක ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය නොවන බව ද අවධාරණය කළේය. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 22 නොවැම්බර් 2019 18:06

    Latest News